අම්පාර සිට නීත්ත දක්වා ගමන්ගත් පාසල් සිසුන් රැගත් ÒසිසුසැරියÓ බස් රථයක් සහ අක්කරපත්තුව සිට අම්පාර දක්වා ගමන් කරමින් තිබු ලංගම බස් රථයක් අම්පාර ඊ.සී.සී හන්දිය අසල දී මුහුණ මුහුණ ගැටී සිසුන් 25 දෙනෙක් සහ මගීන් අට දෙනෙක් තුවාල ලබා තිබේ.
ඊයේ (03)දහවල් 2.30ට පමණ මේ අනතුර සිදුව තිබේ.පාසල් සිසුන් ගමන් ගත් සිසු සැරිය බස් රථය අම්පාර සිට නීත්ත බලා ධාවනය වී තිබු අතර අනෙක් බස් රථය අක්කරපත්තුව සිට අම්පාර දක්වා ධාවනය කරමින් තිබී ඇත.ලංගම බස් රථයට අම්පාර ඊ.සී.සී.පොලිස් මුරපොළ ආසන්නයේදී තවත් රථයකට ඉස්සර කරන්න ගිය අවස්ථාවේදී මේ අනතුර සිදු වී තිබේ.
අවට සිටි පිරිස් එකතු වී තුවාල ලබා සිටි පිරිස අම්පාර මහ රෝහල වෙත යවා තිබේ.පසුව අම්පාර මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී තුවාල ලැබුවන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩල යුහුසුළුව ක්‍රියා කර තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ බස්රථවල රියැදුරන්ය.මේ ආරංචිය අම්පාර පුරා පැතිර ගිය අතර නිවෙස්වල සිටි මව්පියන් තම දරුවන් සොයමින් රෝහල වෙත පැමිණ සිටියහ.
අනතුර වු අවස්ථාවේම අම්පාර පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් චන්ද්‍රරත්න මහතා ඇතුළු නිලධාරින් පැමිණ තුවාලකරුවන් රෝහල වෙත යැවීමට පියවර ගනු ලැබීය.
අනතුර නිසා අම්පාර හිඟුරාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති වු අතර අම්පාර රථ වාහන පොලිසියේ නිලධාරින් එක්ව අනතුරට පත් බස් රථ පාරෙන් ඉවතට ගෙන මාර්ගයේ යන අනෙක් වාහනවලට ඉඩ ලබාදී තිබේ.
අනතුර ගැන තොරතුරු ලැබුණු විගස අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එච්.ආර්. හසන්ති මහතා සහ අම්පාර බණ්ඩාරනායක විදුහල,අම්පාර ගාමිණි මහා විදුහල,අම්පාර සද්ධාතිස්ස විදුහල්වල විදුහල්පතිවරු සහ ගුරුවරුන් පැමිණ තම විදුහල්වල දරුවන් ගැන සොයා බැලූහ. අනතුරින් තුවාල වු දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව අම්පාර මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.