ඇමැතිවරයකු වශයෙන් කටයුතු කළ වසර 5ක කාලය තුළ වැටුපෙන් සහ දීමනාවලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට අධික වත්කම් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුවේ සාක්ෂි විභාගය ලබන ජූලි 18දා සිට ආරම්භ කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (03) නියෝග කළේය.
විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් පැමිණිල්ල හා විත්තිය යොමුකර ඇති සංශෝධනවලට අදාළ පොදු එකඟතා ලේඛනයක් ලෙස එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවයා නියම කළේය.
ජූලි 18දා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ 3, 4 හා 5 වැනි සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලදී.
පාචනය වැලඳුණු බව පවසා පෙර දින නඩුවට පැමිණ නොසිටි විත්තිකාර විමල් වීරවංශ මහතා ඊයේ (03) අධිකරණයේ පෙනී සිටියේය.
මෙහිදී පැමිණිලිකාර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුට අදාළ අධිචෝදනා පත්‍රය 2017 වසරේදී ගොනුකරනු ලැබූවද ඊට අදාළ නඩු විභාගය මේ දක්වා ආරම්භ කිරීමට නොහැකි වී ඇති බැවින් ඉදිරි කෙටි නඩු දින කිහිපයක් දෙන ලෙස ඉල්ලා සිටියාය.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වන නඩු කිහිපයකට දින වෙන්කර ඇති බැවින් සැප්තැම්බර් මාසයෙන් පසු දිනයක් දිය හැකි බවට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසා සිටින ලදී. මෙහිදී පැමිණිල්ලේ හා විත්තියේ නීතිඥයන් අතර අදහස් හුවමාරුවක් සිදුවූ අතර සැප්තැම්බර් 18දා අමතර නඩු දිනයක් ලෙස දින නියම කර ගැනීමට යෝජනා විය.
නඩුවට අදාළ නඩු භාණ්ඩ හා ලේඛන මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය. 2009 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ ඇමැතිවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීමෙන් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.