නයිජර් රාජ්‍යයේ අමෙරිකානු හමුදා කණ්ඩායමක් ස්ථානගත කර ඇති කඳවුරකට රුසියානු හමුදා කණ්ඩායමක් ද අනුයුක්ත කර ඇතැයි අමෙරිකාවේ ඉහළ නිලධාරියකු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියානු හමුදා කණ්ඩායමක් එම කඳවුරට අනුයුක්ත කර ඇත්තේ නයිජර් රාජ්‍යයේ රැඳී සිටින අමෙරිකානු හමුදාවට රටින් පිටවන ලෙස එරට බලය අත්කර ගත් හමුදා රජය නියෝග නිකුත් කර තිබූ අවස්ථාවකදීය. එබැවින් රුසියානු හමුදාව පැමිණීම දැනටමත් රටින් ඉවත්වීම සම්බන්ධව සාකච්ඡා පවත්වමින් සිටින අමෙරිකාවට නයිජර් රාජ්‍යයෙන් පිටවීමේ බලපෑම ඉහළ යෑමට හේතු වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
කලාපයේ මුස්ලිම් ත්‍රස්තවාදය මැඬ පැවැත්වීමේ මෙහෙයුම් සඳහා නයිජර් රාජ්‍යයේ අමෙරිකානු හමුදා කඳවුරු දෙකක් ස්ථාපිත කර ඇති අතර, බටහිර අප්‍රිකානු රටක් වන නයිජර් රාජ්‍යයේ පසුගිය වසරේදී සිදුවූ හමුදා කුමන්ත්‍රණය ප්‍රතික්ෂේප කරමින් සිටී. නයිජර් හමුදා පාලකයන් රුසියාවේ සහාය ඉල්ලා ඇත්තේ ඉන් පසුව බව ද වාර්තා වේ.
රුසියානු හමුදාව පැමිණීමෙන් එරට රැඳී සිටින සිය හමුදාවට කිසිදු අවදානමක් මතු නොවන බව අමෙරිකාවේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. රුසියානු හමුදාව රැඳී සිටින්නේ එම කඳවුරේ වෙනත් ස්ථානයක බවත්, ඔවුන්ට අමෙරිකානු හමුදාව ස්ථාපිත කර ඇති ස්ථානයට පැමිණීමට හෝ ඔවුන්ගේ ආයුධ ගබඩාවට ඇතුළුවීමට හෝ ඉඩකඩ නැති බවත් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.