වත්මන් ජනපතිවරයාගේ පාලනය යටතේ සියලු දෙනාටම දේශපාලනය කරන්න පුළුවන් පසුබිමක් ඇති කර තිබෙන බවත් අධිකරණයේ ස්වාධීනත්වය හොඳින් ආරක්ෂා කර තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය.
ඉතාම අභිමානවත්ව එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අපි අවසන් කළා. ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම ආපු විශාල ජන ගංගාවක් එක්ක මැයි දිනය සාර්ථක පැවැත්වීමට හැකිවීම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විදිහට මම ආඩම්බර වෙනවා. ඒ වගේම තමයි මැයි දින රැලියේදී ජනාධිපතිවරයා අනෙකුත් සියලුම පක්ෂවලට මේ රට හදන්න ගිවිසුම්ගතව එකතු වෙන්නයි කියන කාරණය මතක් කළා. මාලිමාවේ මැයි දින රැලියේදී එහි නායකයා ප්‍රකාශ කළේ ඔවුන් ජනාධිපතිවරණයෙන් පසුව එන මහ මැතිවරණයට සූදානම් වන බවත් ජනාධිපතිවරණයට ඔවුන්ට සැලසුමක් ඇති බවයි. නමුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ කවුරුන්ද කියන එක ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළේ නැහැ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයත් තමන් හොඳම විපක්ෂ නායකයාවරයා බවත් ඉදිරියේදීත් විපක්ෂ නායකයා විදිහට හොඳින් කටයුතු කරන්නට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළා. ඒ වගේම ජනාධිපතිවරණයෙන් අනතුරුව මහ මැතිවරණයේදී ආණ්ඩුවක් විදිහට ඔවුන් කරන ක්‍රියාමාර්ග පිළිබඳවත් පැහැදිලි කරනවා අපි දැක්කා.
ඒ වගේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත්, නාමල් රාජපක්ෂ මහතාත් ඔවුන් කොහොමද ආණ්ඩුව කරද්දී දායක වෙන්නේ කියන කාරණය සාකච්ඡා කරන බව අපිට පෙනුණා. මේ හැම කරුණකින්ම පෙනෙන තිබෙන්නේ ජනාධිපතිවරණය පිළිබඳව ඔවුන් කිසි කෙනෙකුටත් ගැටලුවක් නැති බවයි. ඒ අනුව මේ රටේ ජනතාව මේ රටට අවශ්‍ය ජාතික නායකයා කවුරුන්ද කියන එක පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. දේශපාලන පක්ෂත් ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා තිබෙනවා කියන එක මේ හැම ප්‍රකාශයකින්ම තහවුරු වෙනවා. මේ රටේ කවුරුත් දන්නා තාරුණ්‍යට වැඩ කරපු එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි. තරුණ සේවා සභාව බිහිකරලා, බෙල්වුඩ් නිකේතනය බිහිකරලා, යොවුන් බලකාය හදලා, විශ්වවිද්‍යාල නිර්මාණ කරලා. යොවුන් පාර්ලිමේන්තුව හදලා, තොරතුරු තාක්ෂණයට අදාළ ආයතන බිහි කරලා. තරුණයින් වෙනුවෙන් කරපු කාර්යභාරය රන් අකුරින් ලියවෙලා තියෙනවා.
ඒ නිසා නැවත අලුතෙන් කිසිවෙකුට තාරුණ්‍ය වෙනුවෙන් ඇවිල්ලා කරන්න දෙයක් නැහැයි කියන එක මතක් කරන්නට අවශ්‍යයි. ඒ වගේම ළදරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් විශේෂ ඒකකයක් පිහිටුවන්නට සජිත් ප්‍රේමදාස උත්සාහ කරනවා කියනවා. ගර්භණී මාතාවන්ට ආහාර, පෝෂණය ලැබෙනවා. අස්වැසුම ක්‍රියාත්මක වෙනවා, අවශ්‍ය නීති රීති සකස් කරලා තිබෙනවා. ඒ හැම දෙයක්ම හොඳින් සිද්ද වෙන නිසා තවත් කෙනෙකුට ඒ ගැන හොයා බලන්න දෙයක් නැහැ. ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා තිබෙනවා. ගාලු මුවදොරට ගිහිල්ලා සජිත් ප්‍රේමදාස හරකෙක් වගේ ගුටි කද්දි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් අපේ රටේ ජනාධිපතිවරයා ඔවුන්ටත් දේශපාලනය කරන්නට පුළුවන් පසුබිම ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය ඇතිකරලා තිබෙනවා. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය හොඳින් ආරක්ෂා කරලා තිබෙනවා. කිසිදු බයක් සැකයක් නැතුව අධිකරණය ඉදිරියේදී තමන්ගේ නඩුවක් විසඳගන්නට ඕනෑ කෙනෙකුට හැකියාව තිබෙනවා. දූෂණ විරෝධී පනත දකුණු ආසියාවේ තියෙන හොඳම පනත විදියට ගෙනත් තිබෙනවා. ඒක නිසා හොරකම් කරපු අය අල්ලන්න කියව කියව ඉන්න දෙයක් නැහැ.
ඒ වගේම අවශ්‍ය මැතිවරණ පනත් ගෙනල්ලා වියදම් කරන කටයුතු සීමා කිරීම සහ අධීක්ෂණය කිරීම සිද්ධ වෙනවා. රාජ්‍ය දේපොළ මැතිවරණවලට වියදම් කරන්න බැරි විදිහට සකස් කරලා තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව කනගාටු වෙන්න දෙයකුත් නැහැ. මේ රටේ අවශ්‍ය ආර්ථික, දේශපාලන පසුබිම ඉතා කෙටි කාලයක් තුළ නැවත සකස් කරලා තිබෙනවා. ඒ නිසා කිසිම කෙනෙකුට ඒ පිළිබඳව බිය වන්නට දෙයක් නැහැ. දැන් හැමදෙනාම සිදු කළ යුතු වන්නේ ජනාධිපතිවරයා මේ යන ගමනට සහාය වීම පමණයි. ඒකට ඕනම පක්ෂයකට ඉඩකඩ තිබෙනවා. මේ රටේ ඕන ආගමක් අදහන්න හැකියාව තිබෙනවා. පල්ලියට යන්න පුළුවන්. කෝවිලට යන්න පුළුවන්. පන්සලට යන්න පුළුවන්. ඒ තත්ත්වය මේ රට තුළ ඒකීයත්වය සහ අඛණ්ඩතාවය ආරක්ෂාවන පරිදි කිරීමට පියවර අරගෙන තිබෙනවා. ඒ වගේම සමගි ජන බලවේගෙය‍් නායකයා ඇතුළු පිරිස මැයි දිනයේදී විවිධ අය සම්බන්ධ වන බව කිවුව ප්‍රකාශ පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. අපි නම් එහෙම එකක් කිව්වේ නැහැ. නමුත් අවසානයේ සජිත් ප්‍රේමදාසගේ දෙපැත්තේ ඉන්න සහ නලින් බණ්ඩාර ඇරෙන්නට අනිත් සියලු දෙනාම ජනාධිපතිවරයාට සහය දෙන බව අපිට විශ්වාසයි.