Home » පදක්කම් දිනූ ශ්‍රි ලංකා කැරම් කණ්ඩායම දිවයිනට

පදක්කම් දිනූ ශ්‍රි ලංකා කැරම් කණ්ඩායම දිවයිනට

by yasara
May 3, 2024 9:14 am 0 comment

06 වන ආසියානු කැරම් ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කාන්තා කැරම් කණ්ඩායම එහි අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමත් , කාන්තා යුගළ තරගාවලියෙන් ලෝකඩ පදක්කමත් , පිරිමි කණ්ඩායම මෙම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කමත් හිමි කර ගෙන ඊයේ  (02) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය ඉකුත් 04/27 දින සිට 05/01 දින දක්වා මාළදිවයින මාළේ නුවර ආසියානු කළාපයේ රටවල් 07 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

මෙම තරගාවලියේ දී ” ස්විස් ලීග් ” ඉසව්ව සදහා තරග කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක සයිඩ් හිල්මි එහි අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමක් දිනා ගැනීමට ද සමත් වී තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළේ දී මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ලේකම් සහ කණ්ඩායමේ පුහුණුකරු ලැන්ග්ලි මතායස් මහතා වත්මන් ලෝක ශූරතාවය හිමි කර ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම බවත් මීට පෙර අවස්ථා හතරක දී ලෝක ශූරතාවය දිනා ගෙන ඇති බවත් සදහන් කළ අතර , එළඹෙන නොවැම්බර් මස ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියට සහභාගී වී එහි ශූරතාවය දිනා ගැනීම තම බලාපොරොත්තුව බව ද පැවසීය .

ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම  අද (02) රාත්‍රී 11.35 ට මාළදිවයින සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 104 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපිය නෑදෑ හිතවතුන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT