මහ සයුරේ රත්තරන් ලෙස සැලකෙන අම්බර හෙවත් තල්මස් වමනය කිලෝ 05ක් රුපියල් කෝටි 100කට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයකුව අහුංගල්ලේදී පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇත.
මුහුදු දඩයක්කරුවන් විසින් මෙරට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා තල්ලේ සහ උදරයේ ඇති අම්බර ලබාගෙන විදේශිකයන්ට රුපියල් කෝටි ගණනින් අලෙවි කරන බවට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත්තේ පොලිස් සැරයන් ජයලාල් (428) ඇතුළු කණ්ඩායමක් යොදා සිදුකරනු ලැබූ බුද්ධි ආවේක්ෂණයකින් අනතුරුවය.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 02 වන උප ලේඛනයට අනුව තල්මසා නම් කර ඇත්තේ ආරක්ෂක සත්ත්වයකු ලෙසිනි. එබැවින් එම සත්ත්වයාගේ සිරුරේ කොටස් ළඟ තබා ගැනීම විකිණීම තහනම් බව මධ්‍යම දූෂණ මර්දන බළකාය සඳහන් කරයි.
මෙම අම්බර කිලෝ 05 සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා අහුංගල්ලේ පෞද්ගලික ආයතනයක සේවකයෙකි. විදේශිකයන්ට අම්බර අලෙවි කිරීමේ ජාවාරම මෙහෙයන මහමොළකරු ලෙස හඳුනාගෙන ඇත්තේ ඔහුවය.
අම්බර මඟින් මිනිසුන්ට වාසනාව, ධනය, බලය සහ ශක්තිය ලැබෙන බවට සමාජ මතයක් ඇති බව ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි. ලෝකයේ මිල අධිකම සුවඳ විලවුන් නිෂ්පාදනයට ද අම්බර යොදා ගන්නා බවත් ඉහළ වටිනාකමක් අම්බරවලට ලැබී ඇති බව සඳහන්ය. අරාබි ජාතිකයන් වැඩි වශයෙන් අම්බර කාම ශක්තිය ඇති කරවන්නක් ලෙස භාවිත කරන බවත් කෙසෙල් සමඟ අම්බර ඔවුන් ආහාරයට ගන්නා බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.
ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ ධීවරයන් පිරිසකට මෙම අම්බර මහ මුහුදේදී හමුවී විකිණීමට තමාට ලබාදුන් බවය. එහෙත් එය විශ්වාස කළ නොහැකි බවත් තල්මසුන් මරා අම්බරු ලබාගැනීම සංවිධානාත්මකව සිදුවන ජාවාරමක් බැවින් ඒ ගැන වැඩිදුර විමර්ශන පැවැත්වෙන බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර උප පොලිස් පරීක්ෂකවරුන් වන සඳරුවන්, ජයවීර, පොලිස් සැරයන්වරුන් වන සම්පත් (34950) ජයලාල් (428), පොලිස් කොස්තාපල්වරුන් වන බාලසූරිය (77090), ප්‍රියන්ත (82453), සංජීව (91287), ජයසේකර (93681), සියන්ත (94009), මධුසංක (35039) සහ පොලිස් කොස්තාපල් රියැදුරු තිසර (80501) යන නිලධාරීහු වැටලීමට එක්වූහ.
සැකකරු අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සැකකරු අහුංගල්ල පොලිස් ස්ථානයට භාරදී තිබේ.