වවුනියාව විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයට මැදියම් රැයේදී අඩ නිරුවතින් පුද්ගලයෙකු ඇතුළුවීමත් සමඟම බියට පත් වූ කාන්තා නේවාසිකාගාරයේ ශිෂ්‍යාවන් එම නේවාසිකාගාරයෙන් ඉවත් වී පෙරේදා (25) නිවෙස්වලට ගොස් තිබේ.
කිසියම් ශබ්දයක් ඇසී එක් ශිෂ්‍යාවක් අවදි වී නේවාසිකාගාරයේ විදුලි පහන් දැල් වූ අවස්ථාවේදී කුඩා යට ඇඳුමකින් පමණක් සැරසී සිටි එම පුද්ගලය කාන්තා නේවාසිකාගාරයෙන් පලා ගොස් තිබේ. එම පුද්ගලයාව කාන්තා නේවාසිකාගාරයේ සිටි ශිෂ්‍යාවන් කීපදෙනෙකු විසින්ම දැක ඇති අතර, උදෑසන විශ්වවිද්‍යාල කාන්තා නේවාසිකාගාරයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂා කරන විට කිසියම් පුද්ගලයෙකු අඩ නිරුවතින් කාන්තා නේවාසිකාගාරයට ඇතුළු වන දර්ශන එහි සටහන් වී තිබී ඇත.
විශ්වවිද්‍යාල බලධාරීන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත් පියවර ප්‍රමාණවත් නොමැති බවත් කාන්තා නේවාසිකාගාරය තුළ තමන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත් කියමින් ශිෂ්‍යාවන් සියලු දෙනාම විශ්වවිද්‍යාලයෙන් පිටව නිවෙස්වලට ගොස් තිබේ.
මේ සිද්ධිය දුරකතන පණිවුඩයක් මඟින් නිවසට දැනුම් දුන් එක් ශිෂ්‍යාවකගේ මවක් හදිසියේම වැලඳුණු හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කොට තිබේ.
වවුනියාව විශ්වවිද්‍යාලය හා කාන්තා නේවාසිකාගාරය පිහිටා ඇත්තේ වවුනියාව මන්නාරම මාර්ගයේ පම්පමඩුව ප්රදේශයේය.
එම ප්‍රදේශය මදක් කැළෑබද ප්‍රදේශයක් වන අතර කාන්තා නේවාසිකාගාරයේ ශීෂ්‍යාවන් ප්‍රකාශ කරන්නේ විශ්වවිද්‍යාලය තුළ සේවයට යොදවා සිටින ආරක්ෂක නිලධාරීන්ට මසකට රුපියල් ලක්ෂ ගණනක් වැටුපක් ලබාදෙද්දී ඔවුන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන බවයි. වවුනියාව විශ්වවිද්‍යලයේ බලධාරීන් මේ පිළිබඳව වවුනියාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.