ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාව ඔස්සේ යුරෝපයට රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පහසුකම් සපයන්නා ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළේදී පෙරේදා (25) අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු කොළඹ, දෙහිවල ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙකි. මොහු ශ්‍රී ලාංකික දරුවන් 17 දෙනකු රටින් පිට කර මිනිස් ජාවාරම් කිරීමේ අවස්ථා පිළිබඳ චෝදනාවට ලක් වී සිටීම නිසා මේ තැනැත්තා පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයට නියෝග කර තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් ඔහු ලුහුබඳිමින් ඔහුව සමීපව නිරීක්ෂණය කරමින් සිටි අතර, ඔහු පිළිබඳ මැලේසියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. මේ පසුබිමේ පෙරේදා (25) 14 හැවිරිදි පිරිමි දරුවකු සිය පියා සමඟ මොහු විසින් මැලේසියාව වෙත රැගෙන යමින් සිටියදී ක්වාලාලම්පූර් නුවර ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන, ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ මොවුන් ගුවන්තොටුපොළේදීම ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි. මොහු ඉකුත් 2022 දෙසැම්බර් මාසයේ සිට 2023 අප්‍රේල් දක්වා ශ්‍රී ලාංකික දරුවන් 17 දෙනකු මෙසේ මැලේසියාව බලා රැගෙන ගොස් ඇති අතර, ඔවුන් සියලු දෙනා ද්‍රවිඩ ළමයින් වීම විශේෂත්වයකි. ඔවුන් අතුරින් ළමයින් 13කගේ තොරතුරු ඉහත ආගමන විගමන දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇත. ඒ දරුවන් අතුරින් 8 දෙනකු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඉතිරි 5 දෙනා මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මේ දරුවන් ඔවුන්ගේ මවුපියන්ගෙන් ලබා ගෙන, ඔවුන් සමග මුලින්ම මැලේසියාව බලා පිටත්ව යෑම සිදු කරති; ඉන් අනතුරුව ඔවුන් මැලේසියානු දරුවන් ලෙස අවශ්‍ය ලියකියවිලි සකස් කර ප්‍රංශය සහ එංගලන්තය වෙත මිනිස් ජාවාරමේ නිරත කරවීම සිදු කරති.
මෙසේ අත්අඩංගුවට ගත් ද්‍රවිඩ ජාතිකයා ශ්‍රී ලංකාවේ සිට මැලේසියාව වෙත දරුවන් රැගෙන ගොස් අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කරමින් කටයුතු කරන පුද්ගලයා වන අතර ශ්‍රී ලංකාව, මැලේසියාව, ප්‍රංශය සහ එංගලන්තය තුළ මේ මහා මිනිස් ජාවාරමේ ප්‍රබලයන් සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වන විට අනාවරණය කර ගෙන තිබේ. දැනට අත්අඩංගුවට ගෙන ඇති මේ පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් සහ තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ ඒකකයේ නිලධාරීන්ට භාර දී තිබේ.