දරුණු හදවත් රෝගයකින් පීඩා විඳිමින් සිටි පාකිස්තාන ජාතික 19 හැවිරිදි තරුණියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමේ පුවතක් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කළේය. ඇයට බද්ධ කර ඇත්තේ නවදිල්ලි නුවර මොළය මිය ගිය 69 හැවිරිදි පුද්ගලයකුගේ හදවතක් බව ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
චෙන්නායි නුවර එම්ජීඑම් රෝහලේදී එම සැත්කම සිදු කර ඇති අතර, ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානයක මූල්‍යාධාර ලැබී ඇතැයි ද වාර්තා වේ.
වසර 5ක් පුරා හෘදයාබාධයකට ගොදුරු වී සිටි අයේෂා රෂාන් නමැති මේ තරුණිය 2019 දී පළමුවරට ඉන්දියාවට පැමිණ ඇති අතර, එවකට අඩියාර් පළාතේ මලාර් රෝහලේ සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ හෘද රෝග විශේෂඥ බාලක්‍රිෂ්ණන් ඇයට හදවතක් බද්ධ කළ යුතුව ඇතැයි නිර්දේශ කර ඇති අතර, ඒ සඳහා රජයේ අවයව බද්ධ කිරීමේ ආයතනයේ ලියාපදිංචි වී පොරොත්තු ලේඛනයේ රැඳී සිටිය යුතු බව දැනුම් දී තිබේ. ඒ අනුව පසුගිය ජනවාරි 31 වැනිදා ඇයට එම සැත්කම සිදු කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.