දරුවන්ට හොඳම දේවල් ලබා දෙමු, යන්න සමාජවාදීන්ගේ පරණ සටන් පාඨයකි. එය අද වැඩිපුරම භාවිත කරන්නෝ ධනපතියෝ ය. ධනපති නායකයින් දරුවන්ට සලකන ආකාරය දැකගන්නට නම්, ගාසා තීරයට යා යුතුය. ආහාර මෙට්‍රික්ටොන් ගණනින් කසළ අඹරන මෝල්වලට යවන නූතන ලෝකයේ පලස්තීන දරුවෝ දංකුඩ සූරති.
ගාසා තීරයෙහි දකුණු අන්තයට බරව පිහිටි අල්ෂීෆා රෝහලට තවත් නැවුම් දවසක් උදා වී ඇත. ළහිරු රැස්කිරණ වාට්ටුවල ජනේල අතරින් රෝහල තුළට කාන්දු වී ඇත්තේ යුද්ධයක ලකුණුවත් නොදන්නා සේ ය. අවට පරිසරය නිහඬ ය. රෝග අසල ඇති ඔලිව්ගස් කිහිපයක් හිරු කිරණින් නැහැවී ඇත. රෝහලේ එක් පැත්තක් බෝම්බ ප්‍රහාරවලින් බිමට සමතලා වී තිබේ. එහෙත් ළමා වාට්ටු කිහිපයක් නිරුපද්‍රිතව පවතී. ළමා වාට්ටු කීවද එහි අර්ථය බෝඩ් ලෑල්ලට පමණක් සීමා වී ඇත. වැඩිහිටි – තරුණ – ළමා කියා වෙනසක් නැත. ඕනෑම රෝගියකු පවතින වාට්ටුවකට ඇතුළත් කර ගැනීම සිදු වෙයි. ගාසා තීරයට අයත් රෝහල් තිස්පහක් පැවැති අතර ඉන් දහනවයක් බෝම්බ ප්‍රහාරවලින් බිමට සමතලා වී ඇත. රෝහල් දහයක සරණාගතයෝ පදිංචි වී සිටිති. ඉතිරි රෝහල් තුන, හතර තුළ අධික තදබදයක් පවතී.
ගාසා තීරයේ රෝහල්වල කටයුතු කළ වෛද්‍යවරු 261ක් ගුවන් ප්‍රහාවලින් මරුමුවට පත් වූහ. හෙද – හෙදි හා සුළු සේවක පිරිස්වලින් වැඩි ගණනක් පලා ගොස් සිටිති. රෝහල් සේවාව අඩපණය. බෙහෙත් නැත. වතුර නැත. විදුලිය නැත. යුද්ධය ගාසා තීරයේද, බටහිර ඉවුරේද ජන ජීවිතය මුළුමනින්ම අවුල් කර ඇත. ඔවුන්ට අපේක්ෂා නැත. බොහෝදෙනා පලා යෑමට උත්සාහ දරති. තවත් අය මරණය කඩා වඳින තෙක් බලා සිටිති.
අට හැවිරිදි අෙම්ගා ළමා වාට්ටුවේ සුවපහසු ඇඳක් මත සැනසිල්ලේ වැතිර සිටී. අැගේ මුහුණ රවුම් ය. මුවග නිරත හිනා රැල්ලක් රැඳී ඇත්තේ යුද්ධය පිළිබඳ කිසිවත් නොදන්නා ගණනටය. ගාසා තීරයෙහි උතුරු අර්ධයට අයත් තට්ටු නිවාසයක පදිංචිව සිට දැනට අවතැන්ව සිටින දරු පවුලක එකම දරුවා ඇයයි. අමේගා පිළිකා රෝගයකින් පෙළෙන දැරියකි. ඊශ්‍රායල් හමුදා මෙහෙයුම් නිසා ඇගේ අත – පය තුවාල වී ඇති අතර උගුර , කන, නාසය පිළිබඳ ආබාධයක්ද ඇයට තිබිණි. අමේගාට සේලයින් ලබාදී තිබුණ ද ඇය හොඳ සනීපයෙන් සිටියාය . ගෙදර නැති ආරක්ෂාවක් හා සැනසිල්ලක් රෝහල තුළදී දැරිය විඳින බවක් පෙනෙයි.
තරුණ වෛද්‍යවරිය ඉතා පරෙස්සමට සේලයින් බටය ගලවන අතර අමේගා සිනාසුණා ය. දැරිය ඊට ප්‍රතිචාර දැක්වූයේ නිදාසිටින ඉරියව්ව යාන්තමට වෙනස් කරමින් ය.
“දුවට හෙට ගෙදර යන්ඩ පුළුවන්!
දැන් ඔයාට ගොඩාක් සනීපයි!”
වෛද්‍යවරිය අමේගාගේ නිකට සොලවමින් ඇයට කියා සිටියාය. එහෙත් දැරියගේ ප්‍රතිචාරය ඉතා නරක විය. ඇය වහාම නැගී සිටි අතර ඇඳමත හොඳ හැටි වාඩිවී බෙරිහන් දෙමින් හඬන්නට වූවා ය.
“දුවේ! ඇයි ඔයා අඬන්නෙ?
ඔයා ගෙදර යන්ඩ අකැමැති ද?
“අනේ ඩොක්ටර් මට ගෙදර යන්ඩ බෑ!
ගාසා තීරයට ආයේ කවදාවත්ම යන්ඩ බෑ”
“ඇයි පුතේ ඒ? අම්මා – තාත්තා නැතිවුණාද?”
“ ඒ දෙනා ම ඉන්නවා ! ඒ වුණාට මං එහාට බයයි! ගියොත් මං මැරෙයි! මට මැරෙන්ඩ බෑ!”
තරුණ වෛද්‍යවරිය හිස අත ගසාගෙන කල්පනා කරන්නට වූවා ය. අමේගා බෙරිහන් දෙමින් හඬන දුටු තවත් ළමයෙක් ඊට වැඩි වේගයකින් හඬන්නට විය. මේ අයුරින් මුළු වාට්ටුවේම ළමයි මහත් වෙර යොදා හඬන්නට වූහ. රෝහලේ සියලු දෙනා ළමා වාට්ටුවට වෙත ඇදී එන්නට පටන් ගත්හ. අමුත්තෝ පවා ළමා වාට්ටුවට එබිකම් කළහ.
රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා පැමිණ දරුවන් පරීක්ෂා කර බැලූ අතර සියලු දෙනා මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට තීන්දු කැරිණි. එහෙත් රෝහල තුළ කිසිදු මනෝ වෛද්‍යවරයකු සිටියේ නැත. යුද්ධයකට මුහුණ දෙන හමුදා නිලධාරින් පවා මනෝ උපදේශන වෙත යොමු කළ යුතු බවට නියමයක් තිබේ. එහෙත් ගාසා තීරයට කුමන මනෝ උපදේශන ද? දැන් පලස්තීන සරණාගත කඳවුරු තුළ සාගතයක් පැතිර යයි. මන්දපෝෂණය ඉතා ඉහළය. ඇතැම් දරුවන්ගේ ශරීර කූඩු දෙස බැලීම පවා දුක්බර දර්ශනයකි. ඔවුන්ගේ ඉළඇට පෑදී ඇත. මුහුණ වක ගැසී ඇත. සම වියළිය. පලස්තීන දරුවන්ට ගිය කලක්!
ගෙවී ගිය මාස හය තුළ 27000 කට ආසන්න පලස්තීන දරු පිරිසක් යුද්ධය නිසා මිය ගියහ. දැන් පැතිර යන සාගතය නිසා තව කොපමණ මරණ සංඛ්‍යාවක් සිදුවේදැයි නිශ්චය කළ නොහැකිය. මෙය බරපතළ ගැටලුවකි.
ඊශ්‍රායල් – පලස්තීන ගැටුම හැඳින්වෙන්නේ ලෝකේ පැරණිම දේශපාලන තුවාලය හැටියටය. එය ආරම්භ වූයේ 1940 ගණන්වලය. හරියටම කිවහොත් 1947 දීය. පලස්තීන විමුක්ති සංවිධානයේ හිටපු නායක යසර් අර්පත් වරක් පිස්තෝලයක් හා ඔලිව් අත්තක් රැගෙන ගොස් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමැතීය.
ගාසාහි පටු මාවත් දිගේ ඇවිද යන සෑම පලස්තීන දරුවකු ළඟම කුමක් හෝ භාජනයක් තිබේ. හමුවන ඕනෑම කෙනකු වෙතට එය දිගු කරන ඔවුහු කෑමට යමක් ඉල්ලා සිටිති. කුඩා දරුවන්ගේ ශරීර කූඩු දෙස බැලිය නො හැකිය. ඉළඇට සෑදී මුළු ශරීරයම වැහැරී ඇත. සමෙහි තෙතමනයක් නැත. කෑම පමණක් නොව, ඔවුනට අවශ්‍ය ජලය ද නැත. මේ අතර දැරියෝ සනීපාරක්ෂක තුවා නැතිව දුක් විඳිති. ගාසාතීරය මිනිසුන්ට තබා තිරිසන් සතුන්ටවත් ජීවත් විය ෙනාහැකි ස්ථානයක් ලෙස හඳුන්වනු ලැබේ.
පලස්තීනය පවතින්නේ ලෝක ආධාර මතය. ආධාර නැවතුණහොත් පලස්තීන ජාතිකයන් හාමතේ මිය යා යුතුය. දිනකට ආහාර රැගත් ට්‍රක් රථ 500ක් පමණ ගාසා තීරය වෙත එයි. එහෙත් පසුගිය මාස හය තුළ ගොඩබිමෙන් ආහාර බෙදාදීමට ඊශ්‍රායල් හමුදා අවකාශ ලබා දුන්නේ නැත. ඇතැම් දිනවල එකම – එක ට්‍රක් රථයක් හෝ ගාසා තීරය වෙත පැමිණියේ නැත. ආධාර කණ්ඩායම් ගුවන් මඟින් ආහාර ගෝනි බිමට හෙළූ අතර, ඒවායින් සමහරක් මධ්‍යධරණී මුහුදට ඇද වැටිණි. සමහරක් සරණාගතයන්ගේ හිස් මතට කඩා වැටී ඔවුහු මරණයට පත් වූහ. ගුවනින් ආහාර හෙළීම මුළුමනින්ම අසාර්ථක විය.
ගාසා තීරයේ බටහිර ඉවුරේ රෆා ප්‍රදේශයේ මෙහෙයුම් කරමින් සිටි ඊශ්‍රායල් හමුදා ලෙබනනයේ තෝරාගත් ප්‍රදේශවලට පහර දෙන්නටත්, සිරියාවේ තෝරාගත් ස්ථානවලට පහර දෙන්නටත් පටන් ගත්තේය. ඩැමස්කස් නුවර ඉරාන තානාපති කාර්යාලයට පහරදීම් නිසා බලවත් ගැටලු ගණනාවක් ඇති විය. ඉරානය ඊශ්‍රායලයට පමණක් නොව ඇමෙරිකාවටත් අනතුරු හඟවා තිබේ. පලස්තීන ගැටලුව ලෝක යුද්ධයක් කරා තල්ලු වෙන බවක් පෙනෙන්නට තිබේ.
සටන් විරාමය අනිවාර්ය බව අමෙරිකාව කියා තිබේ. සිදුවන ජන සංහාරයට ඊශ්‍රායලය වගකිව යුතු බවද ෙනතන්යානු වරදක් සිදු කරන බවද අමෙරිකන් ජනාධිපතිවරයා අනතුරු හඟවා ඇත. බලවත් රටවල් කිහිපයක අදහස වී ඇත්තේ ඊශ්‍රායලයට යුදමය ආධාර සැපයීම හා අවි ආයුධ ලබාදීම හෝ අලෙවිය හෝ නවතා දැමිය යුතු බවය. මෙබඳු තත්ත්වයක් යටතේ වුව බෙන්ජමින් නෙතන්යාහු අගමැතිවරයාගේ මුරණ්ඩුකම අඩු වී නැත. ඔහු අවධාරණය කර සිටින්නේ තමන් ඉදිරියට තැබූ පියවර ආපසු ගැනීමට සූදානම් නැති බව ය.
අනාගත ලෝකය රැඳී ඇත්තේ නූතන දරු පරපුර මතය. වඩාත් පැහැදිලිව කිවහොත් දරුවන්ගේ අධ්‍යාපනය මතය. ලෝක ශිෂ්ටාචාරය තොටිල්ල ලෙසින් හඳුන්වනු ලබන අරාබි සානුවේ දරුවන්ට විධිමත් අධ්‍යාපනය අහිමි වී ඇත. අධ්‍යාපනය පමණින් නොව දිවි පැවැත්ම සඳහා අවශ්‍ය ආහාර පවා ප්‍රමාණවත් ලෙස ඔවුන් වෙත ලැබෙන්නේ නැත. ගාසා තීරයේ දරුවන් ඊට හොඳම සාක්ෂිය වෙයි. ගාසා තීරයේ දරුවෝ කිරි කඳුළක් ඉල්ලා හඬා වැටෙති.