Home » දෙස් විදෙස් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් “වසත් සිරිය 2024” අවුරුදු උත්සවය උත්කර්ෂවත්ව

දෙස් විදෙස් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් “වසත් සිරිය 2024” අවුරුදු උත්සවය උත්කර්ෂවත්ව

by yasara
April 27, 2024 3:12 pm 0 comment

“වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අද (27) පෙ.ව 7.00ට කොළඹ ෂැංග්‍රිලා හරිත භූමියේ දි ආරම්භ කෙරුණු අතර දෙස් විදෙස් විශාල පිරිසක් ආරම්භයේ සිටම එම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන්, අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයීය සේවක සුබ සාධක සංගමය විසින් අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.

රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03 යටතේ මෙහිදී තරග ඉසව් රැසක් පැවැත්වූ අතර අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, ඔවුන්ගේ පවුල්වල හිතවතුන් මෙන්ම දිවයිනේ විවිධ පළාත්වල ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටී.

අතීත ගැමි සමාජයේ ගම සහ ගැමි ගෙදර අතර පැවති සුන්දර සබැඳියාව විදහා දක්වමින් ගැමි ගෙදරක් සහිත පරිසරයක අකෘතියක් ද මෙහි ප්‍රතිනිර්මාණය කර තිබුණු අතර කැවිලි පෙවිළි, ඇඳුම් පැළඳුම්, සිංහල අවුරුදු චාරිත්‍ර හා ගැමි ක්‍රීඩා ඇතුළු ප්‍රදර්ශනාත්මක අංග රැසක් ඊට ඇතුළත් කර තිබිණි. කතුරු ඔංචිල්ලා, උණ වෙඩි සංදර්ශන, කඩමණ්ඩිය සහ, වෙද ගෙදරකින් ද භූමිය විචිත්‍රවත් විය.

මෙම අවස්ථාවන් සඳහා විදෙස් තානාපතිවරුන්, තානාපති කාර්යාලවල නිලධාරීන් සහ විදෙස් සංචාරකයන්ද මහත් උනන්දුවෙන් එක්ව සිටී අතර ඔවුන් වෙනුවෙන් ද තරග ඉසව් රැසක් සංවිධානය කර තිබිණි.

වැඩිහිටි ජනතාව සහ කුඩා ළමුන් ද දැඩි උනන්දුවකින් යුතුව තරග ඉසව් සඳහා එක්ව සිටී අතර ජයග්‍රහණය කළ සෑම අයෙකුටම තිළිණ ලබා දීම සිදු විය.

අවුරුදු උළෙල පැවති භූමිය වෙත අද දහවල් පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි සංචාරය කරමින් පැමිණ සිටි ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත වූ අතර තරග ඉසව් කිහිපයක් නැරඹීමට ද එක් විය.

එමෙන්ම ගැමි ගෙදර සහ වෙද ගෙදර වෙත පැමිණ ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා එහි අසිරිය විඳ ගැනීමට එක්ව සිටි විදේශිකයින්ගේ ද තොරතුරු විමසමින් ඔවුන් සමඟ ද සුහද කතා බහක යෙදිනි.

පොල් අතු විවීම රාජ්‍ය අංශය, වාසනා මුට්ටිය බිඳීම රාජ්‍ය අංශය (කාන්තා- වැඩිහිටි), පොල් ගෑමේ රාජ්‍ය අංශය (කාන්තා -වැඩිහිටි) යන තරග ඉසව්වල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණි.

වසත් සිරිය 2024 මැරතන් ධාවන තරගයේ (පිරිමි) පළමු ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ ජී. දිලුම් මදුශංක විසින් දිනාගත් අතර දෙවන ස්ථානය ශ්‍රි ලංකා පොලිසියේ ආර්.ඒ.ඩී.හේමන්ත කුමාර සහ තෙවන ස්ථානය ශ්‍රි ලංකා යුද හමුදාවේ කේ. සමුගේශ්වරන් දිනා ගත්තේය.

වසත් සිරිය 2024 මැරතන් ධාවන තරගයේ (කාන්තා) පළමු ස්ථානය යුධ හමුදාවේ ඩබ්.ඒ.එම්.ආර්. විජේසූරිය දිනාගත් අතර දෙවන ස්ථානය යුධ හමුදාවේ එච්.එම්.ඩබ්ලිව්.ජී.ඩබ්.එම්. හේරත් සහ තෙවන ස්ථානය ගුවන් හමුදාවේ කේ.එස්. ඩිල්ෂානි දිනා ගත්තාය.

වසත් සිරිය 2024 ස්ටෑන්ඩඩ් පාපැදි තරගය (පිරිමි) පළමු ස්ථානය ලහිරු මදුශංක, දෙවන ස්ථානය නිදුෂ් නිරන්ත සහ තෙවන ස්ථානය සචින් මදුවන්ත විසින් දිනා ගනු ලැබීය.

වසත් සිරිය 2024 ස්ටෑන්ඩඩ් පාපැදි තරගය (කාන්තා) පළමු ස්ථානය දිනේෂා දිල්රුක්ෂි, දෙවන ස්ථානය ඩබ්.ඒ.ඒ. සදමිණි සහ තෙවන ස්ථානය සුධාරිකා ප්‍රියදර්ශනී විසින් දිනා ගත්තාය.

තරග ඉසව්වලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටී අතර ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්වරුන් සහ අනුග්‍රාහක ආයතනවල ප්‍රධානීහු සහ නියෝජිතයන් ද ඊට එක් වූහ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

“වසත් සිරිය – 2024” අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගය අද ප.ව 6.00ට පමණ ආරම්භ කෙරේ. “වසත් සිරිය 2024” මියැසි ප්‍රසංගය රාත්‍රි 7.00 ට එම ස්ථානයේ දී ආරම්භ වන අතර දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන INFINITYසමඟ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ගීතවත් වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT