කණ්ඩායම් තුනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතිවාසිකම් කීම නිසා පක්ෂයේ සැබෑ නියෝජිතයන් කවුද යන්න දැන් ජනතාවට ප්‍රශ්නයක් වී ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුංමගල මහනාහිමියෝ පැවසූහ.
මහනාහිමියන් මේ බව ප්‍රකාශ කළේ ආමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රීලනිප නියෝජිත පිරිසක් ඊයේ (26) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.
පක්ෂයේ සැබෑ අයිතිය කාටද යන ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට සිදු වන්නේ අධිකරණයෙන්ම බවත්, පක්ෂ ව්‍යවස්ථාවක් තිබෙන නිසා අධිකරණය මඟින් ඉදිරියේදී සාධාරණ තීන්දුවක් දෙනු ඇති බවත් මහනාහිමියෝ මෙහිදී පැවසූහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ 116 දෙනකු ඒකමතිකව වැඩබලන සභාපති ලෙස තමා තෝරාගත් බවත් ඒ තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන්නේ විධායක සභාව නියෝජනය කරන පිරිස අතුරින් 10 දෙනකුටත් අඩු කණ්ඩායමක් බවත් පැවසීය. වෙනම දේශපාලන පක්ෂ සමඟ ගමන් කළ යුතු යැයි සිතන ඒ පිරිස අධිකරණයට ගොස් වාරණ නියෝග ගෙන තිබෙන බවද පැවසූ ඒ මහතා ඒක පාර්ශ්වීයව ගොස් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව වාරණ නියෝගයක් දී තිබෙන බවත්, තම පාර්ශ්වය ද ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් ප්‍රකාශ කළේය. සැඟවුණු න්‍යාය පත්‍ර හා යටි අරමුණු තිබෙන එම කණ්ඩායම විවිධ සැලසුම් සකස් කරමින් සිටින බවද කී ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස තීන්දු තීරණ ගන්නේ බහුතර කැමැත්ත මතයැයිද මෙහිදී කියා සිටියේය.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුෂ්‍යන්ත මිත්‍රපාල, සරත් ඒකනායක, සජින් ද වාස් ගුණවර්ධන, සරත් ඒකනායක, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්වරු සහභාගි වූහ.