ගම්පහ ප්‍රසිද්ධ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර මහතා ඝාතනය කිරීම සඳහා ඔත්තු බලමින් ගිනි අවි සූදානම් කරගෙන සිටි බව කියන සැකකරුවකු මේ මස 29 වැනිදා දක්වා කොළඹ උතුර (පෑලියගොඩ) අපරාධ කොට්ඨාසය තුළ දින හයක කාලයක් රඳවා ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (25) පස්වරුවේ පොලිසියට නියෝග කළේය.
වේවැල්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු එසේ රඳවා ගැනීමට නියෝග කෙරිණි.
ගම්පහ ප්‍රසිද්ධ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර මහතා සහභාගි වීමට නියමිත අවුරුදු උත්සවයක දී ඒ මහතා ඝාතනය කිරීමට සැලසුම් සකස් කරමින් ඝාතකයින් පිරිසක් ඔත්තු බැලීමේ නිරතවී සිටින බවට ලද තොරතුරකට අනුව කොළඹ උතුර (පෑලියගොඩ) අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිසක් මූලික පරීක්ෂණ පවත්වා සැකකරුවන් තිදෙනෙකු ටී 56 ගිනි අවියක් හා පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණ.
අත්තනගල්ල අධිකරණ බලප්‍රදේශයට අයත් වේවැල්දෙණිය ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබීම හේතුවෙන් ඔහු එසේ අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
බස්නාහිර උතුර (පෑලියගොඩ) අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියකු කරුණු දක්වමින් ඩුබායි රටට පැන ගොස් සිටින කෙහෙල්බද්දර ප්‍රදේශයේ පදිංචි පාතාල අපරාධකරුවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව පවසා සිටියේය.
මෙම සැකකරු ඇතුළු සැකකරුවන් සන්තකයේ තිබී ඝාතනයට යොදා ගැනීමට සූදානම් කර ගෙන තිබූ ටී 56 ගිනි අවියක් හා පිස්තෝලයක් සමඟ එම අවිවලට යොදන ජීව උණ්ඩ සියයකට වැඩි ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බව ද පොලිස් නිලධාරියා පවසා සිටියේය.
ව්‍යාපාරිකයා යන එන ස්ථාන පිළිබඳව ඔත්තු බැලීමට යොදා ගෙන තිබූ වාහනයක් ද සොයා ගත් බව ද පොලිස් නිලධාරියා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේය.
මෙයට පෙර අවස්ථා කිහිපයකදීම එම ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට උත්සාහ ගත් බව ද අධිකරණයේ දී අනාවරණය විය.
පොලිසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු රඳවා ගැනීමට නියෝග කෙරිණි.
මෙම නඩුව නැවත කැඳවීම මේ මස 29 වැනිදාට කල් තැබිණ.
කොළඹ උතුර ( පෑලියගොඩ) අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීහු පිරිසක් පැමිණිල්ල මෙහෙයවූහ.
වේයන්ගොඩ විශේෂ