ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අභිමානවත් 136 වන සංවත්සර දිනයට සමගාමීව එම රෙජිමේන්තුවේ දිවංගත රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 22 දින පැවැත්විණි. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ මහතාගේ ආරාධනයකට අනුව බත්තරමුල්ල පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සහභාගි විය.
රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි යුද හමුදාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගෙන රණවිරු ස්මාරකය වෙත කැටුව යනු ලැබීය. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස ආගමික වතාවත් පැවැත්වීය.
ඉන් අනතුරුව, එම රෙජිමේන්තුවේ දිවංගත රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ද පැවැත්විණි. පසුව, යුද හමුදාපතිතුමන් සමඟින් හිටපු යුද හමුදාපති ජෙනරාල් සී.එස්. වීරසූරිය (විශ්‍රාමික) ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ දිවංගත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයෝ එක්ව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළහ. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් වීරෝදාර රණවිරුවන්ගේ වීරත්වය සහ නිර්භීතත්වය සිහිකිරීමේ පාඨය කියවීමෙන් අනතුරුව හිරු නැඟෙන මොහොතේදිත් හිරු බසිනා මොහොතේදිත් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් වැයෙන මළවුන් සිහිකිරීමේ හා පිබිදීමේ වාදනය සිදු කෙරිණි.