ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචින්හිදී පළමු වරට පැවති දකුණු ආසියානු කුරාෂ් ශූරතාවලියේදී පදක්කම් 19ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
මේ දස්කම් හේතුවෙන් රටවල් 6ක සහභාගිත්වයෙන් කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ලෙස පැවති මේ තරගාවලියේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 25 දෙනකුගෙන් සමන්විතවූ ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 15ක් දිනා ගත්තේය.
එහිදී කනිෂ්ඨ පිරිමි අංශයෙන් ගිම්හාන් ෂෙලෝන් (කි. ග්‍රෑම් 50) සහ රුසිරු සේනාරත්න (කි. ග්‍රෑම් 90), කනිෂ්ඨ කාන්තා අංශයෙන් නවෝද්‍යා පීරිස් (කි. ග්‍රෑම් 73) සමඟ ජ්‍යෙෂ්ඨ කාන්තා අංශයෙන් දිල්ෂා දේශානි සිල්වා (කි. ග්‍රෑම් 87) රිදී පදක්කම් දිනා ගත්හ.
කනිෂ්ඨ පිරිමි අංශයෙන් කවිඳු නිර්මාල් ප්‍රනාන්දු (කි. ග්‍රෑම් 55), ඩයාන් ඉඳුවර ප්‍රනාන්දු (කි. ග්‍රෑම් 60), දිනුර ධනංජය (කි. ග්‍රෑම් 60), පසන් ප්‍රමෝද් (කි. ග්‍රෑම් 66), රන්දිදු මසීෂ ජයවර්ධන (කි. ග්‍රෑම් 66), ෂෙනාල් සුපෙම් කුමාර (කි. ග්‍රෑම් 73), කෙවින් අවිශ්ක (කි. ග්‍රෑම් 73), ඉසර භානුජ (කි. ග්‍රෑම් 81) සහ සදිල් වීරසූරිය (කි. ග්‍රෑම් 100ට වැඩි) ලෝකඩ පදක්කම් දිනාගත් අතර, කනිෂ්ඨ කාන්තා අංශයෙන් කිත්මි ජයසංකා (කි. ග්‍රෑම් 48), කාවින්දි කෞෂිකා (කි. ග්‍රෑම් 52), සමංගි සදරංසි (කි. ග්‍රෑම් 57) සහ ගිත්මා රණවීර (කි. ග්‍රෑම් 63) සමඟ ජ්‍යෙෂ්ඨ පිරිමි අංශයෙන් රශ්මික ෆොන්සේකා (කි. ග්‍රෑම් 60) සහ පී.ජී.පී. උදයංග (කි. ග්‍රෑම් 90) ලෝකඩ පදක්කම් දිනා ගත්හ.
මේ තරගාවලියේ ශූරතාව සත්කාරක ඉන්දියාව දිනාගත් අතර, අනුශූරතාව නේපාලයට හිමි විය. ශ්‍රී ලංකා කුරාෂ් සම්මේලනයේ සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, සම්මේලනයේ නිර්මාතෘ සහ ලේකම් උදිත පීරිස් මහත්වරු සමඟ නිලධාරීන් ලෙස චමින්ද කුමාර, දිනේෂ් ප්‍රසංග, රුමේෂ් සිල්වා සහ දිලිප් කුමාර මහත්වරුද මේ සංචාරයට එක් වූහ.