– රුපියල් 40ක් ගෙන 38ක ටිකට් දීලා
– ඉතිරි සල්ලි ඉල්ලුවාම මගීන්ගේ ඇඟටත් ගොඩවෙයි
පොහොය දිනවල කැලණි වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් කැලණිය දුම්රිය ස්ථානයේ සිට පොහොය දිනවලදී පමණක් කැලණි රජමහා විහාරස්ථානය දක්වා ධාවනය වන බස් රථවල කොන්දොස්තරවරුන් සෑම මගියකුගෙන්ම රුපියල් 38.00ක් වූ නියමිත ගාස්තුව වෙනුවට රුපියල් 40.00ක මුදලක් අය කර ගනිමින් රුපියල් 38.00ක ටිකට් පතක් මගියාට ලබා දීම බස් ගාස්තු ඉහළ ගියදා සිටම සිදු කරන බව මගීහු චෝදනා කරති.
පසළොස්වක පොහොය දිනය යනු බෞද්ධ ජනතාව පවුල් පිටින් විහාරස්ථාන කරා යන දිනයක් වන අතර, ඇතැම් අය වන්දනා නඩ වශයෙන් ද දුම්රියෙන් පැමිණෙති. සමහර පිරිස ටිකට් 8ක් 10ක් එකවර මිලදී ගන්නා අතර, ඒ සෑම අවස්ථාවකම කොන්දොස්තර විසින් ටිකට් පත් ගාස්තුව ලෙස රුපියල් 40.00ක් ඉල්ලා සිටින අතර අවසානයේ මගීන්ට ලබා දෙන්නේ රුපියල් 38.00ක ප්‍රවේශ පතකි. සමහර මගීන් ටිකට්පත පරීක්ෂා කර බලා රුපියල් 2.00 ඉල්ලූ විට දැඩි කෝපයෙන් පරිභව කරමින් මගියාට දොස් කියන කොන්දොස්තර, “යන්නෙ කැලණි රුපියල් 2.00 ඉල්ලලා මැරෙන්න හදනවා. 2.00 ඒවා නෑ දැන් ලංකාවේවත්.” කියමින් පොල්පටවන්නා සේ මගීන් බසයට අහුරමින් රුපියල් 2.00 බැගින් තම සාක්කුවට එක් කර ගනී. මගීන් බසයෙන් බසින අවස්ථාවේදී සමහර බස් රථවල මල්වට්ටියක එකතු කර ඇති සිල්ලර කාසි දක්නට ලැබේ.
කැලණි දුම්රිය ස්ථානයෙන් බස් රථය ගමන් ආරම්භ කිරීමට ප්‍රථම කැලණි වන්දනාවේ යන අය රුපියල් 40.00 බැගින් පොඩි සල්ලි අතට ගන්න යැයි පවසන සත්ගුණවත් කොන්දොස්තර මහතා එදින දවස තුළ කෙතරම් ආදායමක් වංචනික ලෙස උපයා ගන්නේ ද යන්න සමහර විට රියැදුරු ද නොදන්නවා විය හැකිය.
එසේත් නැත්නම් ඔවුන් දෙදෙනාම එක්ව පසළොස්වක පෝදා මෙලෙස බැතිමතුන් ගසා කනවා විය හැකිය. මාසිකව ස්ථීර වැටුපක් ලබන බස් සේවකයන්ට මගීන්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය කර ගැනීම ඉතිරි මුදල් නිවැරදිව මගියාට ලබා දීමට කාරුණික වීම, ඉතිරිසල්ලි ඉල්ලන මගීන්ට අපහාස වන අන්දමින් කතා කිරීම, රුපියල් 2.00 ලාභයට එක බස් රථයකට විශාල මගීන් සංඛ්‍යාවක් පටවා මගීන්ට කැලණි වන්දනාව අප්‍රසන්න කිරීම නොකරන ලෙස මාර්ග අංක 135,228,230,224 යන බස් රථවල කොන්දොස්තරවරුන්ට උපදෙස් ලබාදෙන ලෙස අසාධාරණයට මුහුණ දුන් පිරිස බලධාරීන්ගෙන් බල්ලා සිටිති.