රොට්වයලර් වර්ගයේ බලු පැටවකු මිලදී ගැනීම සඳහා මුදල් තැන්පත් කිරීමට බව පවසා ගිණුමේ විස්තර ලබා ගෙන රුපියල් 1,213,000ක මුදල් එම ගිණුමෙන් ලබා ගෙන වංචා කළේ යැයි සැකපිට රිමාන්ඩ් කර සිටි අයකු ලබන මැයි මස 8 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට මහර අතිරේක මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය ඊයේ (24) නියම කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආර්.පී. සුපුන් රාජිත රාජපක්ෂ නොහොත් ඉෂාර යන අය එසේ රිමාන්ඩ් කිරීමට නියම කෙරිණි. පැලහැල, දොම්පේ ප්‍රදේශයේ පදිංචි ඒ.ඒ. සඳුන් මධුවන්ත යන අය විසින් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කරන ලද පැමිණිල්ල විමර්ශනය කර සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සැරයන් (71453) ඩී.එම්.ඒ. කුමාර මහතා පැමිණිල්ල ඉදිරිපත් කරමින් මෙහි පැමිණිලිකරු රොට්වයලට් වර්ගයේ බලු පැටවුන් විකිණීමට ඇති බවට අන්තර්ජාලයේ පල කර තිබූ දැන්වීමක් මත මෙම සැකකරු එම බලු පැටවකු මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් දුරකතන ඇමතුමක් ලබා දී ඒ සඳහා මුදල් ගෙවීමට පැමිණිලිකරුගේ බැංකු ගිණුමේ තොරතුරු ලබා ගෙන මෙම වංචාව සිදු කර ඇති බව පැවසීය.
මේ වන විට මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුගෙන් පසුගිය දින අධිකරණ නියෝග මත බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කළ බවත්, මීට අමතරව අධිකරණ නියෝග මත අදාළ දුරකතන සමාගම්වලට සහ බැංකු ශාඛාවන් වෙත එම නියෝග ඉදිරිපත් කර ඒවාට අදාළ වාර්තා ලබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරු තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියම කරන ලෙස සැරයන්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය. ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.