මෙවර (2024) යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මූල්‍යමය සහනාධාරය ගොවි ගිණුම්වලටම බැර කිරීම ලබන සතියේ සිට ඇරඹෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 7.5කි. මේ යටතේ ගොවීන් ලක්ෂ 08කට අධික සංඛ්‍යාවකට ප්‍රතිලාභ අත්වෙයි. මේ සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සන්දේශයට පසුගිය මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
ඒ අනුව හෙක්ටයාර එකකට රුපියල් 15,000ක මුදලක් බැගින් මෙවර යල කන්නයේදීත් වී වගා කරන ගොවි ජනතාව සඳහා ලබා දීමට කටයුතු යොදා තිබේ. මෙම මුදල යොදා ගනිමින් පොහොර මිල දී ගැනීම හෝ වී වගාව සඳහා වන වෙනත් කවර කටයුත්තක් සඳහා වුවද මෙම මුදල යොදා ගැනීමට හැකි බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවි ජනතාවට දැනුම් දී ඇත.
යල කන්නයේ වී වගා කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර යල කන්නයේදී වී වගා කරන ගොවීන් සම්බන්ධව නිවැරැදි තොරතුරු මේ වන විට එක්රැස් කරමින් සිටින බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මෙම කටයුතු මේ සතිය තුළ අවසන් කෙරේ.
දැනට තිබෙන තොරතුරු අනුව මේ වන විට වී වගා කටයුතු අවසන් කර තිබෙන්නේ හෙක්ටයාර 25,000ක පමණි. නමුත් යල කන්නයේදී වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 06කි. පොහොර යොදනු ලබන්නේ වගා කිරීමෙන් අනතුරුව බැවින් කුඹුරු වගා කිරීමෙන් පසු මෙම මූල්‍යමය සහනාධාරය ලබා දීමට කටයුතු යොදා ඇත. මේ අනුව යල කන්නයේ වී වගාව සඳහා ලබා දෙන මූල්‍යමය සහනාධාරය ගොවි ගිණුම්වලටම බැර කිරීම ලබන සතියේ සිට අරඹන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්.එල්. අබේරත්න මහතා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.