ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23න් හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා, ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස නීතිඥයන් කළ ඉල්ලීමක් යළි තරයේ ප්‍රතික්ෂේප කළ මැදවච්චිය මහේස්ත්‍රාත් ඉමේෂා ධර්මදාස මෙනෙවිය සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා තවදුරටත් මැයි මස 8 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන සම්පූර්ණ වාර්තාවක් එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, මෙම සිද්ධියට අදාළ නඩු ගොනුව අධිකරණ සේප්පුවේ සුරක්ෂිතව තබන ලෙසට ද අධිකරණ රෙජිස්ට්රාර්වරයාට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.
මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (24) මැදවච්චිය අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදීය.
මේ අතර සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් පළමු සාක්ෂිකරු වන දිලීෂ සංගීත් සහ දෙවැනි සාක්ෂිකරු වන මලීෂ පියසිරි යන දෙදෙනා විසින් සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා පහසුවෙන් හඳුනාගනු ලැබීය.
මෙසේ යළි රක්ෂිත බන්ධනාගාරගත කළේ මැදවච්චිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්තව රාජකාරී කළ සැරයන්වරයකු වන මැදවච්චිය පූනෑව පළුගොල්ලෑව පදිංචි එස්. රෝහණ සමන්ත සේනානායක සහ පොලිස් කොස්තාපල්වරයකු වන ඇටවීරගොල්ලෑව, ඇතාකඩ පදිංචි එස්. කපිල ජගත් සෙනවිරත්න යන සැකකරුවෝය.
මෙම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 314, 316 සහ 300 යන වගන්ති ප්‍රකාරවය. ඒ, පහරදී සුළු හා බරපතළ තුවාල සිදු කිරීම සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේය. මෙහිදී අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ සැකකරුවන් පොලිස් නිලධාරීන් වීම නිසා විමර්ශනවලට අදාළ පැමිණිල්ලේ ප්‍රකාශ සටහන් කර ගැනීමට යම් බාධාවක් මෙන්ම ප්‍රකාශ ලබා දීමට ඇතැමුන් මැලිකමක් දක්වන බවයි.
නිරීක්ෂණ පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් දැක්වූ කරුණු කෙරෙහි විමර්ශනවලදී අවධානය යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියෝග කෙරිණි.
පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙනී සිටි අතර, සැකකරුවන් වෙනුවෙන් නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, නීතිඥ තරංග සංජීව සහ නීතිඥ නදීෂා ජයසේන යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
නිරීක්ෂණ පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ (රජයේ හිටපු අධි නීතිඥ) චමින්ද අතුකෝරල, අනුරාධපුර නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ චතුර ධනංජය රණතුංග සහ නීතිඥ නදුනි ජයතිලක යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ. අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා පෙනී සිටි අතර, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙනුවෙන් නීතිඥ අනුෂ්කා දන්තනාරායන මහත්මිය පෙනී සිටියාය. ඉකුත් 7 වැනි දින මෙම පහර දීම සිදු කර ඇති බව කියනුයේ මැදවච්චිය, මන්නාරම පාරේ මැදවච්චිය ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදීය. පහර කෑමට ලක් වූ දිලීෂ සංගීත් අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ශල්‍යකර්මයකට භාජන කර ඔහුගේ එක් වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට වෛද්‍යවරු කටයුතු කරනු ලැබූහ.