නඩු තීන්දුවකට අදාළව ‘දික්කසාද සහතිකයක්’ ලබා දීමට අවශ්‍ය කටයුතු කරදීමට යැයි පවසා අල්ලස් වශයෙන් රුපියල් 5000ක මුදලක් ඉල්ලා ලබාගත් පුත්තලම ක්වාසි උසාවියේ කාති විනිසුරුවරයකු එම උසාවි භුමියේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
පුත්තලම වෙට්ටාලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම සැකකාර කාති විනිසුරුවරයා ඉකුත් 23 වැනිදා දහවල් එම ක්වාසි උසාවියේදීම අත්අඩංගුවට ගත් බවද අල්ලස් කොමිසම සඳහන් කරයි. පුත්තලම ක්වාසි උසාවියෙන් ලබා දෙනු ලැබූ දික්කසාද නඩු තීන්දුවකට අදාළව දික්කසාද සහතිකයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කර දීමට සැකකාර කාති විනිසුරුවරයා පැමිණිලිකාරියගෙන් රුපියල් පන්දහසක මුදලක් ඉල්ලා ඇති බවත් ඒ පිළිබඳව තම කොමිසමට කළ පැමිණිල්ලට අනුව උපායදූතයකු ඉදිරියේ එම අල්ලස් මුදල ඉල්ලා ලබාගත් අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව ද එම කොමිසම පවසයි.
සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (24) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වී ඇත.