රිළවියන්ගේ යෝනි මාර්ගය ඔස්සේ ලූපයක් ඇතුළු කර ගැබ් ගැනීම් වැළැක්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය ඒ සඳහා කුඩා ප්‍රමාණයේ නව ලූපයක් නිර්මාණය කර රිළවියකගේ ගර්භාශයේ තැන්පත් කිරීම ඊයේ (24) සාර්ථකව සිදු කෙරිණි.
එක් වරක් පැටවුන් බිහි කළ වයස අවුරුදු 1 1/2ක් පමණ වන රිළවියක් මේ පරීක්ෂණයට යොදාගෙන තිබූ අතර සැත්කමෙන් පසුව කළ එක්ස්රේ පරීක්ෂණයේ දී අදාළ ලූපය සාර්ථකව තැන්පත්ව තිබෙන අයුරු දැක ගැනීමට ලැබුණු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු ශික්ෂණ හා පශු සායනික අංශයේ අංශාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසීය.
කාන්තාවන් ගැබ් ගැනීම වැළැක්වීමට උපත් පාලන ක්‍රමයක් ලෙස මේ ආකාර පැලඳවීම සිදු කරන බවත් මෙයට පෙර සාමාන්‍ය ප්‍රමාණයේ ලූපයක් යොදා ගනිමින් කළ පරීක්ෂණ අසාර්ථකවීම නිසා කුඩා ප්‍රමාණයේ නව ලූපය නිර්මාණය කළ බවත් දංගොල්ල මහතා කීය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ වෛද්‍යවරුන්ගේත් පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේත් සහාය මේ සඳහා හිමි වූ බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
රිළවියගේ ගර්භාශය නිතර සංකෝචනය වීමත් ඉන් ශ්‍රාවයන් නිකුත්වීම අධික වීමත් නිසා තැන්පත් කරන ලූපය පිටතට තල්ලුවීමේ ප්‍රවණතාව වැඩි බවත් කුඩා ප්‍රමාණයට නිර්මාණය කළ නව ලූපය පිටතට තල්ලු නොවනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීය.
ලූපය තැන්පත් කිරීමට සතා සිහිසුන් කිරීමට පැය භාගයක පමණ කාලයක් ගතවන බවත් අනතුරුව සැත්කම සඳහා පැය භාගයක් පමණ ගතවන බවත් කී ඒ මහතා ඒ අනුව මෙය මෙරට රිලා ගහණය පාලනය කිරීමට ප්‍රායෝගිකව යොදා ගැනීමට ඇති හැකියාව වැඩි බව ද අවධාරණය කළේය.
වසර 20ක් පමණ අයු කාලයක් ඇති රිළවියක් සාමාන්‍යෙයන් ජීවිත කාලයේ දී පැටවුන් 10 – 15 අතර සංඛ්‍යාවක් බිහි කරන බවත් මේ නිසා රිළා ගහණය පාලනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට සියලු පාර්ශ්ව හඳුනාගෙන තිබෙන බවත් ඒ මහතා පැවසීය.
සැත්කමට පශු වෛද්‍යවරුන් වන බී.ජී.එස්.එස් ගමගේ, කේ.පී.අයි.අර් කහටපිටිය,පී.බී අබේරත්න, වනජීවි පර්යේෂක අනිල් දික්කුඹුර,උපස්ථායක එම්.එම්. ධනසේකර මහත්වරු සහභාගි වූහ.
මේ වනවිට මෙරට එළවළු හා පලතුරු නිෂ්පාදනයෙන් 20 % ක ප්‍රමාණයක් වන සතුන්ගේ හානි නිසා රටට අහිමි වන බවත් මේ නිසා රිළා ගහණය පාලනය කරන ලෙස ඉල්ලා ජනතාව උද්ඝෝෂණ කරන තත්ත්වයක් ද දක්නට ලැබෙන බවත් කී මහාචාර්ය දංගොල්ල මහතා පැයක පමණ කාලයක දී ලූපය තැන්පත් කර සතා යළි වනයට මුදාහැරීමට හැකි බව ද පැවසීය.