කන්තලේ, රජඇළ ප්රදේශයේ දී පාසල් සිසුවියක් වෑන් රථයක හැපී ජීවිතක්ෂයට පත්වීමත් සමඟ පලා ගිය වෑන් රථ රියැදුරුට විදේශීය රටකට යෑමට උදවු කළ සැකකරුගේ වැඩිමහල් සහෝදරයා ලබන මැයි තුන්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කන්තලේ මහේස්ත්රාත් දිළිඳු සමරසිංහ මහතා පොලිසියට නියම කළේය.
මෙලෙස බන්ධනාගාරගත වූයේ කන්තලේ රජඇළ පාරේ පදිංචි කුරුප්පු ගෙදර සමීර මධුෂාන් නමැති අයෙකි. බන්ධනාගාරගත වූ සැකකරුගේ බාල සහෝදරයා වන කුරුප්පු ගෙදර තිළිණ මධුෂාන් නමැති අය පැදවූ වෑන් රථයට යට වී පාසල් සිසුවියක් මියගිය පසු සැකකරුට විදේශගත වීමට දැනට බන්ධනාගාරගත කර සිටින වැඩිමහල් සහෝදරයා ආධාර අනුබල දී ඇති බවට පොලිසිය අධිකරණ හමුවේ පැවසීය.
සැකකාර වෑන් රථ රියැදුරු සිය මවගේ අභාවය සඳහා ජපානයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනතුර සිදුවීමෙන් පසු ඔහු නැවත ජපානය බලා යෑමට බැංකොක් වෙත පලා ගොස් ඇති බවට තොරතුරු පොලිසියට ලැබී තිබේ. පලා යෑමට උපයෝගී කරගත් මෝටර් රථයද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.