Home » විශාලතම ලෝහමය ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරීම අද

විශාලතම ලෝහමය ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරීම අද

by sachintha
April 23, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරීම අදට (23) යෙදෙන බක් පොහෝ දිනයේදී සිදු කරන බව එම විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියෝ පැවසූහ.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර හරහා නල්ලතන්නිය දක්වා වැඩම කරවනු ලබන ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව ඉකුත් 20 වැනිදා මහනුවර සහස් උයන දක්වා වැඩම කළ අතර පෙරේදා (21) දේව ප්‍රතිමාව නාවලපිටිය වරකාව සුන්දරාරාම පුරාණ විහාරස්ථානය දක්වා වැඩම කෙරිණ.

නාවලපිටිය වරකාව සුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහැර නාවලපිටිය සිට හැටන් හරහා මවුස්සාකැලේ යුද හමුදා කඳවුර දක්වා වැඩම කරවා ඇති අතර අද (23) යුද හමුදා කඳවුරේ සිට නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානය දක්වා වැඩම කරවා එහි තැන්පත් කිරීමට නියමිතය.

ලෝහමය සමන් දේව ප්‍රතිමාව ටොන් එකක බරකින් සහ ඇත් රජුගේ ප්‍රතිමාව ටොන් එකක බරකින් යුක්ත බවත්, මෙම ප්‍රතිමා නිර්මාණය කිරීම සඳහා ගම්පොළ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙකුගෙන් මූල්‍ය අනුග්‍රහය මත මෙය නිර්මාණය කර ඇත. කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් පවසා සිටියේ.

සමන් දේව ප්‍රතිමාව වැඩම කළ මාර්ගය දෙපස ප්‍රතිමාව වැඳ පුදා ගැනීමට විශාල පිරිසක් එක්ව සිටි බවය.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT