ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට වැටුප් ලෙස ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 10.5ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 302) මුදල වහාම ගෙවා දමන ලෙස ඔහු ක්‍රීඩා කළ ඉතාලියේ ජුවෙන්ටස් ක්‍රීඩා සමාජයට අධිකරණ නියෝගයක් ලැබෙයි.
39 හැවිරිදි රොනාල්ඩෝ 2020-21 තරගවාරයේදී කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියේ පාපන්දු ක්‍රීඩාව නතර කළ විට වැටුප් ගෙවීම ජුවෙන්ටස් ක්‍රීඩා සමාජය කල් දැමීය.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියා සිටියේ ජුවෙන්ටස් ක්‍රීඩා සමාජය අමෙරිකානු ඩොලර් මිලියන 21කට වඩා (ශ්‍රී ලංකා රුපියල් කෝටි 604ක්) ණය වී ඇතත්, බේරුම්කරණ උසාවිය බදු සහ අනෙකුත් අඩු කිරීම්වලින් පසු ගෙවිය යුතු මුදල තීරණය කොට ඇති බවය.
රොනාල්ඩෝ 2018-2021 කාලය අතරතුරදී ජුවෙන්ටස් සමඟ ඉතාලියේ වාර තුනක් ක්‍රීඩා කළ අතර, එහිදී ශූරතා දෙකක් දිනා ගැනීමට කැපවිය.
ඉතාලියේ ජුවෙන්ටස් ක්‍රීඩා සමාජයෙන් ඉවත්වී ඔහු මැන්චෙස්ටර් යුනයිටඩ් සමඟ එක්වූ අතර, අනතුරුව සවුදි අරාබියේ අල්-නස්ර් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් සිටී.
පස් වතාවක් ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනමන සම්මානය දිනාගත් රොනාල්ඩෝ අමෙරිකානු ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් විසින් 2023 දී ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා ලෙස ශ්‍රේණිගත කරන ලදි.
ජුවෙන්ටස් ක්‍රීඩා සමාජය පෙරේදා දින ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තම නීති උපදේශකයන්ගේ සහාය ඇතිව බේරුම්කරණ අධිකරණය විසින් ලබාදෙන ලද හිඟ වැටුප් ගෙවීමේ තීරණය සමාලෝචනය කරමින් සිටින බවයි.