විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පුහුණු තරග හෙට (21) අබුඩාබිහිදී ආරම්භ වෙයි.
කණ්ඩායම් 10ක් එක් වන තරගාවලියේ පුහුණු තරග 10ක් හෙට (21) සහ 23 වැනිදා පැවැත්වෙන අතර, එහිදී එක් කණ්ඩායමක් තරග දෙකක් ක්‍රීඩා කරයි.
දකුණු අප්‍රිකාවේදී ඉතිහාසගත ජයග්‍රහණයක් වාර්තා කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ තරගාවලියට එක් වීම සඳහා එරට සිට කෙළින්ම අබුඩාබි බලා පැමිණෙන අතර, දකුණු අප්‍රිකානු සංචාරයට එක් වූ ඕෂධී රණසිංහ, ඉමේෂා දුලනි සහ ප්‍රසාදිනී වීරක්කොඩි මේ තරගාවලියට නම් කර නැත.
මේ තරගාවලියට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවෝ 15 දෙනකු ඇතුළත් වන අතර, තවමත් ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගෙන නැති 15 හැවිරිදි යොවුන් ක්‍රීඩිකා ශෂිනි ගිම්හානි ද ඊට ඇතුළත් වෙයි.
පුහුණු තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල හෙට නෙදර්ලන්තයට එරෙහිව ටොලරන්ස් ඕවල් පිටියට පිවිසෙයි. දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මේ තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතය.
මේ කණ්ඩායම් දෙක මින් පෙර 2013 වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් හමුවූ අතර, එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට ලකුණු 33ක ජයක් හිමි විය.
හෙට අමෙරිකාව සහ සිම්බාබ්වේ, උගන්ඩාව සහ වනාටු, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තායිලන්තයත්, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතරත් පුහුණු තරග පැවැත්වේ.
ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි පුහුණු තරගය 23 වැනිදා වනාටු කණ්ඩායම සමඟ පැවැත්වෙන අතර, එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 8.30ට ආරම්භ වෙයි. එදින එක්සත් අරාබි එමීර් රාජ්‍යය – උගන්ඩාව, නෙදර්ලන්තය – තායිලන්තය, අයර්ලන්තය – අමෙරිකාව, ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ අතර පුහුණු තරග පැවැත්වීමට නියමිතය.
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය 25 වැනිදා අබුඩාබිහිදී ආරම්භ වන අතර, ශ්‍රී ලංකා පිල තායිලන්තය, ස්කොට්ලන්තය, උගන්ඩාව සහ අමෙරිකාව සමඟින් ‘ඒ’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.