හම්බන්තොට මහ රෝහලේ සේවයේ නියුතුව සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා පෙරේදා (18) සිට රෝහල් බලධාරීන්ට නොදන්වා විදෙස්ගතව ඇති බව වාර්තා වේ.
මීට පෙර අවස්ථා දෙකකදීම හම්බන්තොට මහ රෝහලේ සේවයේ නියුතු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් මෙලෙස රෝහල් බලධාරීන්ට නොදන්වා විදෙස් ගතව තිබූ අතර, ඒ සෑම අවස්ථාවකදීම වෛද්‍යවරයා විදෙස්ගත වී රෝහලේ සෙසු වෛද්‍යවරුන්ට කෙටි පණිවිඩ මඟින් ඒ බව දැනුම් දීමෙන් විදෙස්ගතව ඇති බව දැනගැනීමට හැකිව තිබිණ. ඒ අනුව දැනට සේවයේ නියුතුව සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා අතරින් එක් වෛද්‍යවරයකු ද බලධාරීන්ට නොදන්වා මෙසේ පෙරේදා (18) සිට විදෙස්ගතව ඇති බව රෝහලේ සෙසු වෛද්‍යවරුන්ට කෙටි පණිවිඩ මඟින් දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් හම්බන්තොට මහ රෝහලේ නව අධ්යක්ෂ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කර සිටියේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා අතරින් මෑත කාලයේ මහ රෝහලේ සේවයට පැමිණි වෛද්‍යවරයා මෙසේ විදෙස් ගතව ඇති බව දැනගන්නට ලැබී ඇති බවයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා යවා ඇති අතර, දැනට සිටින තනි වෛද්‍යවරයාගෙන් සේවා කටයුතු අසීරුවේ හෝ සිදු කරගෙන යන බව ද රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.