ඌරාපොළ බෝපැත්ත ප්‍රදේශයේදී මියගොස් සිටියදී හමුව ඇති අවිවාහකයාට මොට ආයුධයකින් පහර දීම හේතුවෙන් සිදුව ඇති බහුවිධ තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වී මරණය සිදුව ඇති බව නිගමනය කරමින් වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ නිලධාරී ඩබ්ලිව් ආර්.ඒ.ඇස්. රාජපක්ෂ මහතා පෙරේදා (18) පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළේය.
එසේ ඝාතනය කර තිබුණේ, ඌරාපොළ බෝපැත්ත ප්‍රදේශයේම පදිංචිව සිටි සිරිලාල් කුමාර (50) නමැත්තෙකි. මොහු මිතුරකු සමඟ ඉකුත් 16 වැනිදා රාත්‍රී එකට මත්පැන් පානය කිරීමෙන් අනතුරුව පසුදින ඔහුගේ මෘත ශරීරය එම ප්‍රදේශයේම තිබී අත්තනගල්ල පොලිසියට හමුව තිබිණ. පොලිසිය සිද්ධිය අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉකුත් 17 වැනිදා පස්වරුවේ මෘත ශරීරය තිබූ ස්ථානයට ගොස් එය පරීක්ෂා කර බලා අවට ප්‍රදේශය ද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙසට වතුපිටිවල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කර තිබේ.
මේ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පෙරේදා (18) පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඉන් අනතුරුව අත්තනගල්ල පොලිසියේ මඟපෙන්වීම යටතේ සිද්ධිය වූ ස්ථානයට ද ගොස් නිරීක්ෂණ කටයුතු සිදු කර එසේ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළේය. අත්තනගල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඇස්.ඒ. ජේ.පී. අමරසේකර හා පොලිස් සැරයන් ලියනාරච්චි (12571) යන මහත්වරු පශ්චාත් මරණ පරීක්ෂණයට සහාය වූහ.