කටුගස්තොට නගරයේ මත්පැන් අලෙවිසලක කවුන්ටරය මත අමතක වීමකින් දමාගොස් තිබුණු මුදල් පසුම්බියක් සොරාගත් ගොළු තරුණයෙක් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් එම තරුණයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පසුම්බියේ තිබුණු මුදල එහි හිමිකරුට ලබා දීමට පොරොන්දු වී තිබේ.
විදේශ රටක සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් කටුගස්තොට නගරයේ පිහිටි මත්පැන් අලෙවිසලකින් මත්පැන් මිලදී ගෙන ඔහුට අයත් මුදල් පසුම්බිය මත්පැන්හලේ කවුන්ටරය මත අමතකව දමා ගොස් තිබිණ. පසුව ඔහු සතුව තිබුණු මුදල් පසුම්බිය අස්ථාන ගතව ඇති බව දැනගත් මෙම පුද්ගලයා මත්පැන්හලට පැමිණ මුදල් පසුම්බිය සොයා ඇති අතර, එය එහි නොමැති බව දැනගෙන ඒ සම්බන්ධව කටුගස්තොට පොලිසිය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව විමර්ශන ආරම්භ කළ කටුගස්තොට පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධාරීන් මත්පැන් අලෙවිසලේ සවිකර තිබෙන ආරක්ෂිත කැමරා පරීක්ෂාවට ලක් කර තිබේ. එසේ පරීක්ෂාවට ලක්කිරීමේදි යම්කිසි පුද්ගලයෙක් කවුන්ටරය මත තිබුණු මුදල් පසුම්බිය සොරාගන්නා අයුරු නිරීක්ෂණය වී ඇති අතර, එම පුද්ගලයා අසල සිටි තවත් අයෙක් ඔහු සමඟ හස්ත මුද්‍රාවෙන් කතා කරන අයුරු ද නිරීක්ෂණය වී තිබේ. ඉන්පසු මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා ගැන විමර්ශනය කළ පොලිස් නිලධාරීන් එම පුද්ගලයා කටුගස්තොට උඩතලවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා ගොළු අයකු වන අතර, ඔහු සමඟ මත්පැන් හලේදී කතාබහ කරමින් සිටි පුද්ගලයා ද ගොළු තරුණයකු බවට අනාවරණය කරගෙන ඇත. සැකකාර ගොළු තරුණයා පෙරේදා (18) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සොරාගත් පසුම්බියේ තිබුණු රුපියල් 20,000ක මුදල එහි හිමිකරුට ලබා දීමට පොරොන්දු වී ඇත. කටුගස්තොට පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. කුලසේන, පො.සැ. (47088) අමරකෝන් ඇතුළු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.