- පස්සෙන් පැන්නුවත් හොරා මාරු
- හොරා අල්ලන්න පොලිස් කණ්ඩායමක් සීරුවෙන්
රන් මාලයක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා රන්මාල කිහිපයක් පරීක්ෂා කර බැලීමට ඉල්ලා ගත් අවස්ථාවේදී රන් භාණ්ඩ වෙළෙඳසල් හිමිකරුගේ පුත්‍රයාගේ මුහුණට, සුදු පැහැති කුඩු වර්ගයකින් දමා ගසා දෙලක්ෂ හතළිස් දහසක් වටිනා රන්මාලයක් කොල්ලකා පලා ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
අනුරාධපුර මාකට් පෙදෙසේ රන් භාණ්ඩ වෙළෙඳසලක් පවත්වාගෙන යන පුද්ගලයකු සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ. රන් මාලයක් මිලදී ගැනීමට පැමිණි මෙම සැකකරු මාල කිහිපයක් පරීක්ෂා කර බැලීමට ඉල්ලූ අවස්ථාවේදී වෙළෙඳසල තුළ පැමිණිලිකරු, ඔහුගේ පුතා සහ වෙළඳසල් සේවකයකු සිට ඇති බවද සඳහන් වේ. කෙසේ වෙතත් මාලය මිලදී ගැනීමට බව පවසමින් පැමිණ සිටි පුද්ගලයා පවුමකට වැඩි රන්මාලයක් රැගෙන වෙළඳසලෙන් එළියට දිව ගිය අවස්ථාවේදී අලෙවිසලේ හිමිකරුගේ පුත්‍රයා ඔහු පසුපස දිව ගොස් තිබේ.
සැකකරු පිටුපස දුවගෙන ගොස් දැඩි පරිශ්‍රමයක් දරා ඔහු අල්ලා ගත් අවස්ථාවේදී එම පුද්ගලයා කලිසම් සාක්කුවට අත දමා සුදු පැහැති කූඩු වර්ගයක් රැගෙන එම පුත්‍රයාගේ මුහුණට දමා ගසා ඔහුගෙන් මිදී, යළි පලා ගොස් ඇති බව පොලිසිය කියයි. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.