‘මම මා ඔයට ගිහින් බලන කොට මුත්තු එක අතකින් වතුර මෝටරය අල්ලාගෙන උඩුබැලි අතට ඔයේ වැටී මිය ගිහින් සිටිනවා දැක්කා’ යැයි මා ඔයේ දී වතුර මෝටරයකින් විදුලි සර වැදී මිය ගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණයේදී කුකුළු කොටුවේ හිමිකරු වන 58 හැවිරිදි බෙලිගල වේරගොඩ පදිංචි නිහාල් ප්‍රියන්ත ඊයේ(19) පැවසීය.
මෙලෙස විදුලි සර වැදී තිබුණේ මාවනැල්ලේ පදිංචිව සිටි මුත්තු සිවලිංගම් නැමැති 66 හැවිරිදි විවාහක පුද්ගලයකුටය. ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා වරකාපොළ පොලිස් වසමේ මා ඔය ආසන්නයේ වද්දෙනිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මසට ඇති කරන කුකුළු කොටුවක මුරකරුවකු ලෙස සේවය කර තිබේ. මේ කුකුළු කොටුවට ජල මෝටරයකින් මා ඔයේ සිට ජලය ලබා ගන්නා අතර පෙරේදා(18) ජලය නොපැමිණිම හේතුවෙන් මුරකරු මා ඔයට ගොස් ජලයේ තබා තිබුණු ජල මෝටරය පරීක්ෂා කිරීමට යෑමේදී විදුලි සර වැදී උඩුබැලි අතට ඔයේ වැටී සිට ඇත. පසුව වරකාපොළ වැඩ බලන මහේස්ත්‍රාත් නිහාල් උපාලි රත්නායක මහතා සිද්ධිය වු ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය කළේය. දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා දේහය ඥාතීන්ට භාර දෙන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
එහිදී වැඩිදුරටත් කුකුළු ගොවිපොළේ හිමිකරු වන නිහාල් ප්‍රියන්ත විජේරත්න නැමැත්තා මෙසේ ද පැවසීය.
මම විවාහකයි.දියණියන් දෙදෙනෙක් සිටිනවා. මම අවුරුදු 20ක කාලයක සිට බිත්තර ලබා ගැනීමට හා මසට කුකුළුන් ගෙදර ඇති කර තමයි ජීවත් වෙන්නේ. බිත්තර ගන්න කුකුළන් හැදීම කොව්ඩි වසංගතයෙන් පස්සේ නතර කළා. දැනට මා ළඟ මසට හදන කුකුළන් 20 000ක් පමණ සිටිනවා. වරකාපොළ අලව්ව වද්දෙනිය ප්‍රදේශයේ අක්කර 7ක පමණ වත්තක කාලයක සිට වහලා තිබුණු කුකුළු කොටුවක් මීට අවුරුද්දකට පමණ කලින් මසකට රුපියල් ලක්ෂ එක හමාරක කුලී පදනම මත මම ගත්තා. මේ වත්ත බලා ගන්න වෙනම මුරකරුවෙක් වතු හිමිකරු විසින් යොමු කර තිබෙනවා. මේ කුකුළු කොටුව තිබෙන්නේ මගේ ගෙදර ඉදලා කිලෝමීටර් 8ක් පමණ දුරින්. මම කුකුළු කොටුව අර ගත්තාට පස්සේ මසට ගන්න කුකුළුන් පමණක් ඇති කරන්න පටන් ගත්තා.
මේ කුකුළු කොටුව රැක බලා ගන්න ගාල්ල ප්‍රදේශයේ තරුණ මුරකරුවකු ගත්තා. ඔහු කුරුණෑගල නාරම්මල ප්‍රදේශයෙන් විවාහ වෙලා නාරම්මල පදිංචිව සිටිනවා. මේ මුරකරු අවුරුද්දට නිවාඩු ගත්තා 12 වැනිදා ගාල්ලේ ගෙදර යන්න ඕනෑ කියලා. ඔහු 12 වැනිදා ගාල්ලේ ගියා. පස්සේ මගේ පුංචි අම්මාගේ පුතා කුකුළු කොටුව බලා ගන්න මිය ගිහින් ඉන්න මුත්තු මාවනැල්ලේ සිටිය දී හොයලා දුන්නා. මුත්තු මම පදිංචිව සිටින වේරගොඩ නිවසට ඉකුත් අප්‍රේල් 12 වැනිදා ආවා. පස්සේ කිලෝමීටර් 7 ක් ඈතින් පිහිටි කුලියට ගත්ත වද්දෙනිය කුකුළු කොටුවට මම මුත්තු ගිහින් ඇරලවලා ආවා. මම නිතරම වේරගොඩ ඉදලා වද්දෙනියේ කුකුළු කොටුව බලන්න යනවා එනවා. මේ කුකුළු ෆාම් එකට වතුර ගන්න වත්තේ ළිඳක් තිබෙනවා. ළිඳේ මේ දවස්වල වතුර නැති නිසා මා ඔයට වත්තේ මුරකරු මෝටරය දාලා වතුර ගහනවා.
18 වැනිදා වතුර ගන්න මෝටරය ගහලා තිබෙනවා. වතුර ඇවිත් නැති නිසා මුත්තු ගිහින් තිබෙනවා වතුර එන්නේ නැත්තේ මොකද කියලා බලන්න. මුත්තු ආපසු නැති නිසා සම්පූර්ණ වත්ත බලා ගන්න මුරකරු මා ඔයට ගිහින් තිබෙනවා බලන්න. ඒ යන කොට මුත්තු මා ඔයේ තිබුණු වතුර මෝටරය අල්ලාගෙන ඔයේ වැටිලා ඉදලා තිබෙනවා. පස්සේ මුරකරු මට කතා කර කිව්වා. මම ගිහින් බලලා වරකාපොළ පොලිසියට පැමිණිල්ලක් කළා.
මට මේ මරණය සැකයක් නෑ. විදුලි සර වැදී මිය යන්න ඇතැයි විශ්වාස කරනවා. මරණයේ සියලුම වැඩ කර ගන්න මම උදව් උපකාර කරනවායැයි පැවසීය.ජීවිතක්ෂයට පත්ව තිබුණු පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ(19) කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්ත විජේරත්න මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබුණි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය මිය ගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරියට භාර දීමට නියමිතව තිබුණි. වරකාපොළ පොලිසියේ පොලිස් සැරයන් ජයවර්ධන (68822) විමර්ශන කටයුතු සිදු කළේය.