අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු මාලිගාකන්ද අධිකරණ භූමියේ දී අත්අඩංගුවෙන් මිදී පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේ වැඩ තහනමට ලක් කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
එලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අනුයුක්ත දිවා ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේය. මෙලෙස පලා ගොස් ඇත්තේ අවිස්සාවේල්ල ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි සැකකරුවෙකි.
ඉකුත් 16 වෙනි දින පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ කණ්ඩායමේ පොලිස් පරීක්ෂක එස්.කේ. කග්ගොඩ ආරච්චි මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් ග්‍රෑන්ඩ්පාස් චොක්කලාවත්ත කෝවිලක් අසල දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 690ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
එම සැකකරු හා අනෙකුත් සැකකරුවන් දිවා ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා විසින් මාලිගාකන්ද අධිකරණය වෙත රැගෙන යන අවස්ථාවේ දී නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබිණි.
එම සිදුවීමට අදාළව කොළඹ උතුරු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.ආර්. අබේපිටිය මහතා විසින් පෙරේදා 18 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි එම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ රාජකාරි වැඩ තහනමට ලක්කර ඇත. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.