“මෙම මෙහෙයුම අපගේ අපේක්ෂාවන් ඉක්මවා ගිය සාර්ථකත්වයක් අත්කර ගත්තේය”
ඉරානය විසින් පසුගිය අප්‍රේල් 14 මධ්‍යම රාත්රියේදී ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්රහාරයන් එල්ල කිරීමත් සමඟ IRGC(Islamic Revolutinary Guard Corps) දේශපාලන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ අණ දෙන නිලධාරියකු ප්‍රකාශ කර ඇත්තේ ඒ ආකාරයෙන් බව සඳහන් කරන්නේ අල්ජසීරා පුවත් සේවයයි. ඉරානය විසින් මෙම ප්‍රහාරයෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එය, ඉරානය විසින් ඉතිහාසයේ එල්ල කරන ලද විශාලතම ඩ්‍රෝන මිසයිල ප්‍රහාරය බවයි.
ඊශ්‍රායලයට ඇදී ආ ඩ්‍රෝන ප්‍රහාරය
මෙතෙක් කාලයක් යුද පුවත් සම්බන්ධයෙන්, පුවත් ගෙනහැර පෑමේදී මාධ්‍ය ආයතනයන්ට ප්‍රධාන පුවත් වූයේ ඊශ්‍රායලය, පලස්තීනය, හමාස් සංවිධානය හා ගාසා තීරයයි. මෙම පුවත් අතරට වෙනත් පුවතක් එක්වූයේ නම් ඒ එහෙමත් වෙලාවටය. එහෙත් දැන්, දැන් ගාසා තීරය අමතක කර දමා ඉරානය දෙසට හැරෙන්නට ලෝකයේ බොහෝ මාධ්‍ය ආයතනයන් සූදානම්ව සිටී. ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන මුල් අවස්ථාවේ සිට මෙකී කතාන්දරය පිටුපස ඉරානයේ ඡායාවද වැටී තිබිණි. එහෙත් හරියාකාරව ඊශ්‍රායල – ඉරාන අඬදබරයකට හේතු වූයේ පළමුව ඊශ්‍රායලය කළ පහරදීමයි. සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි ඉරානයේ කොන්සල් කාර්යාලයට පහරදීම ඉරානයේ තදබල වෛරයකට හේතු වී තිබිණි. ඔවුන් එතැන් සිට ඊශ්‍රායලයට දැනුම් දෙනු ලැබුවේ ඉතා ඉක්මනින්ම එම වාඩුව ගැනීම වෙනුවෙන් ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් කටයුතු කරන බවයි. එකී වාඩුවේ ගින්දර පත්තුවූයේ පසුගිය අප්‍රේල් 14 මධ්‍යම රාත්‍රියේදීය. එදින ජෙරුසලම් අහස පුරා දිස් වූයේ මිනිසුන්ට පාර කියනා තරුරාශි නොවේ. ඊශ්‍රායල ජාතිකයන්ට දිස්වූයේ තම දේශසීමාව කරා ඇදී එන ඩ්‍රෝන මිසයිලයන්ය. මේ සමඟම ජෙරුසලමේ සයිරන් නාදයන් පැතිරීමත් සමඟ ආරම්භ වූයේ අයන්ඩෝම් මඟින් ස්වයංක්‍රිය ප්‍රතිප්‍රහාරයන්ගෙන් ඩ්‍රෝන මිසයිල ඉහළ අහසේදීම පුපුරා විනාශ කරදැමීමේ ක්‍රියාවලියයි.
මෙම ප්‍රහාරයෙන් පසුදින ලෝකය පුරා විවිධ පුවත් මැවෙනා විට ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රධානියා සඳහන් කළේ තම රට තුළට පැමිණි බැලස්ටික් මිසයිල සහ කෲස් මිසයිල 90%කට වඩා ගුවන් ආරක්ෂක පද්ධතීන් මෙන්ම අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර රටවල් මූලික වීමෙන් විනාශ කර දැමූ බවයි. මේ අතර ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයා සඳහන් කර සිටියේ “අප තීරණය කරනු ලබන අවස්ථාවකදී ප්‍රහාර එල්ලකිරීමට සූදානමින් සිටිනවා” යන්නයි. එමෙන්ම මෙම මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කර සිටියේ දකුණු ඊශ්‍රායලයේ පිහිටි හමුදා කඳවුරකට ප්රහාරයන්ගෙන් යම් හානියක් සිදුව ඇති බවත්, කුඩා දැරියක තුවාල ලබා ඇති බවත්ය.
අමෙරිකාවෙන් ඊශ්‍රායලයට පණිවිඩයක්
ඉරානය විසින් කළ මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දක්වන්නේ නම් එය ප්‍රවේශමෙන් සිතාබලා කළ යුත්තක් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් දුරකතන මාර්ගයෙන් පවසා ඇති බව විදෙස් මාධ්‍යයන්හි ප්‍රමුඛ පුවතක් බවට පත්ව තිබේ. මන්ද මෙය ඉරානයෙන් පැමිණි ඍජු ප්‍රහාරයක් බැවින් ඊශ්‍රායලයද එකට එක කරන්නට ගොස් වෙනස්ම ආකාරයේ යුද්ධයකට අතවනන්නට සිදුවන්නක් හෙයිනි.
අමෙරිකානු ජනාධිපතිවරයා පමණක් නොව ප්‍රංශය සහ එක්සත් රාජධානිය ඊශ්‍රායලයෙන් කළ ඉල්ලීම වූයේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නොකරනා ලෙසයි. ඔවුන්ගේ මතය වූයේ ප්‍රති ප්රහාරයන් එල්ල කළහොත් මෙම යුද්ධය දරුණු මට්ටමට ළඟාවිය හැකි බවයි. මේ අතර එක්සත් රාජධානියේ හිටපු අගමැතිවරයා වූ ඩේවිඩ් කැමරන් පවසා ඇත්තේ, ඊශ්‍රායලය මූලිකත්වය දිය යුත්තේ ගාසා තීරය පිළිබඳව මිස ඉරානයේ ප්‍රහාරය සම්බන්ධයෙන් නොවන බවයි. එසේම ඔහු ඊශ්‍රායලයට මෙන්ම ඉරානයට ද දැනුම් දී ඇත්තේ යුදමය තත්ත්වයක් ඇතිවුවහොත් සිදුවන විනාශය වළක්වා ගැනීමට කටයුතු කරනා ලෙසයි.
කොයිහැටි වෙතත් ප්‍රහාරයෙන් පසු දිනම ඊශ්‍රායල යුද කැබිනෙට්ටුව රැස්වීමට තීරණයක් ගනු ලැබුණි. මේ ඊශ්‍රායල යුද කැබිනෙට්ටුව රැස් වූ දෙවන වතාවයි. මෙම කැබිනෙට්ටුව රැස්වීමෙන් පසු එක් ඇමැතිවරයකු ප්‍රකාශ කර සිටියේ නිසි වේලාව පැමිණි පසු ඊශ්‍රායලය මෙම ප්‍රහාරයට පිළිතුරු ලබාදෙන බවයි. එයින් ගම්‍යවන එක් කරුණක් වන්නේ නම් කවුරුන් කෙසේ කීවද මේ සඳහා ප්‍රතිඋත්තර බැඳීමට ඊශ්‍රායලය සූදානමින් සිටින මුත් ඔවුනට එය හදිසියක් නැති බවයි. ඔවුන් පවසන්නේ නිසි වේලාව පැමිණි පසු මේ සඳහා ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානමින් සිටිනා බවයි.
ඉරානයෙන් පණිවිඩයක්
ඊශ්‍රායලය පවසන්නේ කවරක් වුවත් ඉරානය මේ වනවිට වෙනමම ආකාරයේ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් සිටී. ඔවුන් කියනුයේ ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් ඊශ්‍රායලයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවයි. එමෙන්ම ඊශ්‍රායලය කවර ආකාරයේ ප්රහාරයන් එල්ල කළද තමා ඊට මුහුණ දීමට සූදානමින් සිටිනා බව ඉරානය පවසයි. කටාර් එමීර්වරයාට මේ බව පවසමින් ඉරාන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ප්‍රතිප්‍රහාරයන් යනු ඊශ්‍රායලයට දරුණු පීඩාවන්ට මුහුණ දීමට සිදු විය හැකි බවයි. පසුගිය සෙනසුරාදා ඩ්‍රෝන මිසයිල 300ක් පමණ ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ලකිරීම ඉරාන වැසියන්ගේ මෙන්ම ඊශ්‍රායලයට විරුද්ධව පෙළ ගැසී සිටින්නන්ට සතුටුදායක ආරංචියක් විය. නමුත් එයින් වාසිසහගත තත්ත්වයක් ඇති වූයේ ඊශ්‍රායලයටය. එනම් එයට කරුණු කිහිපයක් මූලික විය. ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඔවුන් සමඟ සිටි බටහිර රටවල් පවා ක්‍රමයෙන් ඊශ්‍රායලය මගහරින තත්ත්වයක් ඇතිවිය. එහෙත් ඉරාන ප්‍රහාරයත් සමඟ බටහිර රටවල් යළිත් නෙතන්යානු සමඟ සබඳතා තරකර ගන්නා මට්ටමට පැමිණියහ. ඒ අතින් ගත් කළ මෙහි වාසිය ලැබුණේ ඊශ්‍රායලයටයි. එමෙන්ම මෙකී සියලුම රටවල් පාහේ ඉරානයේ පහරදීම පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීය.
මේ සමඟම තමාට ලැබුණු වාසිය පදනම් කරගනිමින් ඊශ්‍රායල රජය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියේ ඉරානයට වැඩි වශයෙන් සම්බාධක පැනවිය යුතු බවත් ඉරානය යනු ත්‍රස්තවාදී රාජ්‍යයක් බවත්ය. ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කොමේනි ත්රස්තවාදයට කැමැත්තක් දක්වන නායකයකු මෙන්ම ඉරාන විප්ලවීය හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් බවත්ය. ඊශ්‍රායල විදෙස් අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කර සිටියේ ඉරානය ත්‍රස්ත රාජ්‍යයක් බවත් අනාගතයේදී එය මුළු මහත් ලෝකයටම තර්ජනයක් වන බවයි.
පුටින්ගේ කතා
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කරනා සමයේ සිට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊශ්‍රායලය සම්බන්ධයෙන් එතරම් හිතකර ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. පසුගියදා ඉරාන ප්‍රහාරයෙන් පසුවද ව්ලැදිමීර් පුටින් සාකච්ඡා පැවැත්වූයේ ඉරාන ජනාධිපතිවරයා සමඟයි. ඉරානය යනු රුසියාව සමඟ මනා හිතවත්කම් පවත්වාගෙන යනු ලබන රටකි. එයට සමීපතම හේතුව වන්නේ රුසියාව මෙන්ම ඉරානයද අමෙරිකානු විරෝධී කඳවුරේ සිටීමය. රුසියානු ජනාධිපතිවරයා, ඉරාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම ගැටලුව තවදුරටත් මතුවීමට ඉඩනොදී සමතයකට පත් කරගැනීමට කටයුතු කරනා ලෙසයි.
කොයිහැටි වෙතත් ඉරාන ප්රහාරයන්ට ප්‍රතිඋත්තර සැපයීම සම්බන්ධව විවිධ අයුරින් කතිකාවක් මතුවෙමින් පවතින බැව් විදෙස් පුවත් සේවාවන් අවධාරණය කරයි. එක් පාර්ශ්වයක් ක්ෂණික ප්‍රතිචාර ලබා දිය යුතු බව පවසන විට, තවත් කණ්ඩායමක් ප්‍රකාශ කර සිටින්නේ ඒ ආකාරයේ ප්රහාරයන්වලට යාමට පෙර මිත්‍ර රටවල්වල සහාය වැඩි දියුණු කරගත යුතුය යන්නයි.
කෙසේ වෙතත් ඉරානයට ප්‍රහාර එල්ල කළ යුතු ද යන්න පිළිබඳව සමීක්ෂණයක් පැවැත්වූවේ ජෙරුසලමේ පිහිටි හීබෲ විශ්වවිද්‍යාලයේය. එම සමීක්ෂණයන්හි ප්‍රතිඵලවලට අනුව 52%ක් සඳහන් කර සිටියේ ප්‍රහාර එල්ල කිරීමට හදිසි නොවිය යුතුය යන තීරණයේය.
මේ වනවිට මුල කෙසේ වෙතත් ප්රහාරයන්හි අග කවරේද යන්න දැනගන්නට හැකිවන්නේ මෙතැන් සිට ඔවුන් හුවමාරු කරගන්නා ප්රහාරයන්වලට අනුවය. ඉරානය කිහිපවරක්ම ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය, ඉරානයට පහර දුනහොත් ඔවුනට භයානක සිදුවීම්වලට මුහුණදීමට සිදුවන බවයි. එහෙත් ඊශ්‍රායලය තවමත් නිහඬය. නමුත් සමස්තයක් ලෙසින් ගත්කල මේ වනවිට ඔවුන් පොදු තීරණයකට පැමිණ තිබේ. එනම් “නිවැරැදි කාලය පැමිණි පසු ඔවුන් පහරදීමට සූදානම්” බවය.
අමෙරිකාව විසින් ඊශ්‍රායලයෙන් ඉරානයට පහරදීමක් සිදුව ඇති බව ඊයේ දිනය වනවිට ප්‍රකාශ කළද මේ වනතුරු ඊශ්‍රායලය ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සඳහන් කොට නැත.