Home » ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ පිබිදීමක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ පිබිදීමක්

-චමරි ලොව දෙවැනි තැන ගනිද්දී ඉනෝකාත් ඉහළ නඟියි

by sachintha
April 17, 2024 3:26 am 0 comment

ලෝක කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි අතපත්තු හා ලෝක කාන්තා එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමේදී ඉනෝකා රණවීර ඉදිරියට පැමිණීමට සමත් වෙයි. සුපිරි පිතිකාරිණී චමරි අතපත්තු ලෝකයේම දෙවැනි තැන සිටින අතර, හිටපු නායිකා ඉනෝකා රණවීර ඊයේ නිකුත් කළ නවතම ලෝක ශ්‍රේණිගත කිරීම අනුව 17 වැනි ස්ථානයට උසස් වූවාය.

අයිසීසී ලෝක කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීමේදී චමරි අතපත්තුට පහළින් ඔස්ට්‍රේලියාවේ බෙත් මෝනී හා ඉන්දියාවේ ශ්‍රීමති මන්දනා සිටිති. එහි පළමු ස්ථානයේ එංගලන්තයේ නතාලියා සයිවර් බෘනට් රැඳී සිටී. අයිසීසී ලෝක කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වූ කවිෂා දිල්හාරි පියවර 7කින් ඉදිරියට පැමිණ 48 වැනි ස්ථානය දක්වා හා නිලක්ෂි ද සිල්වා පියරව 4කින් ඉහළට ගොස් 49 වැනි ස්ථානය දක්ව ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ගොස් ඇත.

කාන්තා එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමේදී උදේෂිකා ප්‍රබෝධනී පියවර 2කින් ඉහළට පැමිණ 31 වැනි ස්ථානයට හා ඕෂධී රණසිංහ පියවර 12ක් ඉදිරියට පැමිණ 34 වැනි ස්ථානයට පත්ව ඇති අතර, කවීෂා දිල්හාරි පියවර 10කින් ඉහළ ගොස් 57 වැනි ස්ථානයේ සිටී.

දකුණු අප්‍රිකාවේ කිම්බර්ලි හී පැවති දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබාගත් දකුණු අප්‍රිකා නායිකා ලවුරා වොල්වර්ඩ්ට් අයිසීසී කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු පස් දෙනා අතරට පැමිණ ඇත. ඇය ශ්‍රී ලංකා නායිකාවට පියවර දෙකක් පසුපසින් පස්වැනි ස්ථානයේ සිටී. විසඳුමකින් තොරව නිමාවූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරගයේදී ආරම්භක සබඳතාවට ලකුණු 116ක් එක්කළ ටස්මින් බ්‍රිට්ස් ස්ථාන 7ක් ඉදිරියට පැමිණ 38 වැනි ස්ථානයට පත් වූවාය. අයිසීසී ලෝක කාන්තා එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමේ මුල්තැන එංගලන්තයේ සොපියා එක්සෙල්ටන්, දෙවැනි ස්ථානයේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා මෙගාන් ස්වර්ට් හා තෙවැනි ස්ථානයේ මාර්සෙන් කාප් රැඳී සිටිති.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT