Home » පාපැදි සම්මේලනය ක්‍රීඩා පනත උල්ලංඝනය කරලා ක්‍රීඩා සංගම් පහකින් චෝදනා

පාපැදි සම්මේලනය ක්‍රීඩා පනත උල්ලංඝනය කරලා ක්‍රීඩා සංගම් පහකින් චෝදනා

by sachintha
April 11, 2024 2:46 am 0 comment

විශේෂ මහ සභා රැස්වීමකදී වැඩි ඡන්දයෙන් පත් කළ නිලවරණ කමිටුව අඛණ්ඩව දෙවතාවක්ම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ක්‍රීඩා පනතට සහ පාපැදි ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරමින් සිටින බව එහි සාමාජික සංගම් 5ක් චෝදනා එල්ල කරයි. නීතියට පටහැනිව කටයුතු කරන පාපැදි සභාපති ඇතුළු නිලධාරීන් පාපැදි ව්‍යවස්ථාව ද අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බව එම සංගම් වැඩිදුරටත් චෝදනා කර සිටී.

පාපැදි සම්මේලනයට එම චෝදනා එල්ල වූයේ කලුතර දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපති සුදේශ් ද සිල්වා, අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම් චන්දන ප්‍රියනාත්, කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම් අශෝක් කුමාර්, ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපති සුමිත් බාලසූරිය සහ කුරුණෑගල දිස්ත්‍රික් පාපැදි සංගමයේ කුමාර මොලගොඩ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දෙහිවල පැවති මාධ්‍ය හමුවකදීය.

පාපැදි සම්මේලනයේ නිලවරණ කමිටුව පත් කරගැනීම සඳහා පළමුව පසුගිය මාර්තු 12 වැනිදාත්, දෙවනුව මාර්තු මස 26 වැනිදාත් කොළඹ 7, ක්‍රීඩා විද්‍යායතනයේදී පැවති විශේෂ මහසභා රැස්වීම ද්විත්වයම ගාලගෝට්ටියකින් අවසන් වූ බවත්, දෙවතාවේදීම බහුතර කැමැත්තකින් පත් කරගනු ලැබූ නිලවරණ කමිටුව පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් මාධ්‍ය හමුවේදී සියලු පාර්ශ්ව කියා සිටියහ. බහුතර කැමැත්තකින් තෝරාගත් නිලවරණ කමිටුවක් ප්‍රතික්ෂේප කිරීමට පාපැදි සම්මේලනයට නීතිමය බලයක් නැති බවත්, ඔවුන් පාපැදි සම්මේලනයේ ව්‍යවස්ථාවට සහ ක්‍රීඩා පනතට පටහැනිව එය සිදු කළ බවත් එහිදී වැඩිදුරටත් සඳහන් විය.

මේ වන විට පාපැදි සම්මේලනයේ සාමාජික සංගම් සහ ක්‍රීඩා සමාජ බහුතරයක් වත්මන් සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නැඟී සිටින බවත්, ඔවුන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් වර්තමානය වන විට ජාත්‍යන්තර පාපැදි සම්මේලනය මගින් අත්හිටුවා ඇති ශ්‍රී ලංකාවේ පාපැදි සම්මේලනය නිල වශයෙන් තහනම් කිරීමේ අවදානමක් මතු වී ඇති බවත් මාධ්‍ය හමුවට එක් වූ පාර්ශ්ව සඳහන් කළහ.

පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් සිදුකළ එම නීතිවිරෝධී ක්‍රියා කලාපය සම්බන්ධව මේ වන විට සාමාජික සංගම් රැසක් ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුවට සිය විරෝධතා ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳ සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කර තිබේ.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT