ගුවන් මගීන් 77ක් එකවර ප්‍රවාහනයට ඉඩ
ආබාධිත මගීන්ටත් විශේෂ පහසුකම්
කටුනායක ගුවන් තොටුපොළේ සිට ගුවන් යානය වෙතත්, ගුවන් යානයේ සිට ගුවන් තොටුපොළ වෙතත් ගුවන් මගීන් ප්‍රවාහනය කිරීම සඳහා නවීනතම බස් රථ තුනක්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භූමි පාළන අංශයට පවරා දීමේ උත්සවයක් ඊයේ (10) ශ්‍රී ලන්කන් ගුවන් යානා පරිශ්‍රයේදී පැවැත්විණ.
වසර 5ක පමණ කාලයක සිට දැඩි අවශ්‍යතාවයක් බවට පත්ව තිබූ මෙම බස් රථ ඊයේ (10) දින සිට කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවයට එක් කර තිබේ. කටුනායක ගුවන් තොටුපොළ අවශ්‍යතාවලටම පමණක් ගැලපෙන පරිදි එහි ගුවන් මගී සේවා කවුළු සහ ආගමන විගමන කවුළුවලට සියයට 100ක්ම ගැලපෙන ආකාරයට මීටර් 14ක් දිගකින් සහ මීටර් 2.7ක පළලකින් යුතු මෙම බස් රථ චීනයේ චයිනා ඉන්ටර්නැෂනල් මරීන් කන්ටේනර් සමාගම විසින් නිපදවනු ලැබ තිබේ.
අශ්ව බල 4,500 එන්ජින් ධාරිතාවයකින් යුතු මෙම බස් රථවල වායු සමන පද්ධතිය සඳහා තවත් වෙනම එන්ජිමක් ද පවතී. ගුවන් මගීන් 77ක් සඳහා ගමන් කිරීමේ පහසුකම් ඇති මෙම බස් රථ තුළ එහි රියැදුරුවරයාට සහ ඒ තුළ ගමන් ගන්නා මගීන්ට එකිනෙකට සන්නිවේදන සම්බන්ධතා ඇති කර ගැනීමේ පහසුකම් පවතී. ඊට අමතරව ආබාධිත ගුවන් මගීන් සඳහා තමන් ගමන් කරන රෝද පුටු ද මෙම බස් රථය තුළට ඇතුළු කර ගැනීමේ පහසුකම් සලසා ඇත.
මෙම බස් රථ සේවයට එක් කිරීමේ අවස්ථාවට වරාය, ගුවන් සේවා සහ නාවික කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ, එම ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය යන මහත්වරුන් ඇතුළු තවත් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
කටුනායක ටී.කේ.ජී. කපිල