Home » අපේකම ලොවට පෙන්වන මහා මංගල්‍යය මෙයයි – සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක

අපේකම ලොවට පෙන්වන මහා මංගල්‍යය මෙයයි – සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක

by sachintha
April 11, 2024 2:56 am 0 comment

අලුත් අවුරුද්ද සූර්ය මංගල්‍යය කියලා හැඳින්වූවා නම් නිවැරදියි

කුඩා දරුවන් හා සූර්ය මංගල්‍යය අතර නොබිඳෙන සබඳතාවක් තිබෙනවා

අවුරුද්ද නිසා සමාජ සබඳතා තර වෙනවා

එළැඹෙන සිංහල අලුත් අවුරුද්දේ සැබෑ අර්ථය කුමක්ද, දරුවන් හා අවුරුදු කාලය අතර තිබෙන සම්බන්ධතාවය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා සමඟ කළ සංවාදයකි.

 

l සිංහල අවුරුද්දේ සැබෑ අර්ථය කුමක්ද?

සැබෑ අර්ථය කියලා කියන්නෙ එදාට අලුත් අවුරුද්දක් උදා වෙනවා. බටහිර ක්‍රමය අනුව වුවත් දෙසැම්බර් මධ්‍යම රාත්‍රියේදී අලුත් අවුරුද්ද උදා වෙනවනෙ. ක්‍රිස්තු භක්තිකයො සමරන්නෙ ක්‍රිස්තු වර්ෂ කියලා දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනකොටම පටන් ගන්න අලුත් අවුරුද්දයි. අපේ වෙසක් කාලයට පටන් ගන්න බෞද්ධ වර්ෂයක් තිබෙනවා. බුද්ධ වර්ෂය යනුවෙන් හඳුන්වන්නෙ එයයි. ඒ වගේම ශක වර්ෂය කියන එකත් බෞද්ධයන් පාවිච්චි කරනවා. ඉන්දියාවේ පහළ වුණු ඉතා බල සම්පන්න බෞද්ධ රාජ වංශයක් තමයි ශක රාජ වංශය කියලා කියන්නෙ. ඒ අය කොයි තරම් බලවත්ද කියනවා නම් අලුත් අවුරුදු ක්‍රමයක් ආරම්භ කළා. ඒක තමයි නම් කළේ ශක වර්ෂය කියලා. ශක රජවරු අලුත් ගණන් මිනුම් අනුව තමන්ගේ නමින් අලුත් වර්ෂ ක්‍රමයක් පටන් ගත්තා.

ඒකට සූර්යාගේ ගමන තමයි පදනම් වුණේ. ක්‍රිස්තු වර්ෂයට එහෙම මොකුත් නැහැනෙ. සූර්යයාගෙ ගමන තමයි ශක වර්ෂයේ ආරම්භයට පදනම් වෙන්නෙ. ඈත අතීතයේ පටන් හින්දු භක්තිකයන්, බෞද්ධයන් සූර්යයා ගමනේ යෙදී ඉන්නවා කියලා විශ්වාස කළා. නමුත් සූර්යා ගමනක යෙදුණෙ නැහැ. සූර්යයා එක තැනක ඉන්නකොට පෘථිවියයි සූර්යයා වටා යන්නෙ. සූර්යයා කෙළින් පාරක නෙමෙයි මේ ගමන යන්නෙ චක්‍රයකයි ඒ ගමන යන්නෙ. චක්‍රය අවසානයට ගියාම නැවත මුලට එනවා. ඒ චක්‍රයට කියන්නෙ රාශි චක්‍රය කියලා. ශක වර්ෂය විශ්වාස කරපු අයයි අනෙක් අයයි හිතුවා අවුරුද්ද කොටස් දොළහකට බෙදෙනවා කියලා. ඒවට කියන්නෙ රාශි කියලා. රාශි චක්‍රය මේෂ රාශියෙන් තමයි ආරම්භ වෙන්නෙ. මීන රාශියෙන් තමයි ඉවර වෙන්නෙ.

l ‘නොනගතය’ කියන වචනය සෑදුන ආකාරය විස්තර වෙන්නෙ කොහොමද?

ලග්නවලට බලපාන්නෙත් ඒ රාශි චක්‍රයම තමයි. මීන රාශියෙන් ඉවර වුණාම නැවත මුලට යනවා. මීන රාශියේ සිට මේෂ රාශියට යනකොට ඒකට පොඩි කාලයක් ගත වෙනවා. එතකොට සූර්යයා ඉන්නෙ මීන රාශියෙත් නෙමෙයි මේෂ රාශියෙත් නෙමෙයි. සූර්යයා එතකොට ඉන්නෙ රාශි චක්‍රයෙන් පිට වගේ. ඒ අතරමඟ කාලයට කියන්නෙ සංක්‍රාන්තිය කියලා. සූර්යයා පරණ අවුරුද්දෙන් අලුත් අවුරුද්දට සංක්‍රාන්තියක යෙදිලා ඉන්නවා. සූර්යයා මීන රාශියේ ඉන්නකොට නැකැත් තියනවා. අතර කාලය තුළදි නැකැත් නැහැ. ඒ වෙලාවේ සූර්යයා ඉන්නෙ එහාටත් නැති මෙහාටත් නැති අවස්ථාවකයි. ඔය අතරෙදි නැකැත් නැහැ. ඒ නිසා ‘නො නැකත’ කියලා වචනයක් ආවා. ඒක තමයි ‘නොනගතය’ කියලා හැදුනෙ. නැකත් නැති නිසා තමයි ඒ වෙලාවට නොනගතය කියලා හැදුනෙ.

සූර්යයා ඉන්නෙ දෙකටම නැති අවස්ථාවක නිසා ඒ වෙලාවට නැකත් නැහැ. නොනගතය එක්තරා විදියකට අනතුරුදායකයි. ඒ නිසා අපි කියනවා නොනගතය වෙලාවේදී වැඩ කරන්න එපා කියලා. ඒ වෙලාවට වැඩ නවත්වනවා. ඉන් පසුව අලුත් අවුරුද්දෙ නැවත වැඩ අල්ලනවා. ඒ අතරෙ වැඩ කරන්න බැහැ. වැඩ කරන්න බැරි නම් මොකද කරන්නෙ. නැකත් නැති වුණාට කාලය තියනවනෙ. කරන්න පුළුවන් වැඩ දෙකක් තියනවා. ඒ වෙලාවෙ පින් කරන්න ඕනෙ. එහෙමත් නැත්නම් සෙල්ලම් කරන්න ඕනෙ. අන්න ඒ නිසයි එදාට පවුලේ ඔක්කොම පින් කරන්න පන්සල් යන්නෙ. වෙනත් දවස්වලට පන්සල් තනියමනෙ යන්නෙ. නමුත් අවුරුදු පටන් ගන්නකොට නොනගතයේදී තනියම යන්නෙ නැහැ. අම්මලා, තාත්තලා, ආච්චිලා, සීයලා ඔක්කොම එදාට පන්සලට යනවා.

l නොනගතයේදී කළ යුතු සහ නොකළ යුතු දේවල් මොනවාද?

එකක් තමයි කරන්න තියන හොඳම දේ තමයි පින් කිරීමයි. අනිත් කාරණාව තමයි මොකක් හරි අනතුරක් වුණොත් වෙන්නෙත් පන්සලේදිනෙ. නරකක් නැහැනෙ. දෙවැනි කාරණය තමයි ඒ වෙලාවට වැඩ කරන්න බැරි නිසා වැඩ කරන එකට විරුද්ධ දේ තමයි සෙල්ලම් කිරීම. වෙනදට අම්මලා තාත්තලා බණිනවනෙ කොල්ලනේ සෙල්ලම් කර කර ඉන්න එපා වැඩ කරන්න කියලා. වැඩ කිරීමයි සෙල්ලම් කිරීමයි එකට එක විරුද්ධයි. නමුත් එදාට වැඩ කරන්න බැරි නිසා සෙල්ලම් කරන්නම වෙනවා. එදාට සෙල්ලම් කරන්නෙත් තනියම නෙමෙයි ගෙදර ඔක්කොමලා එකතු වෙලා. නොයෙක් නොයෙක් අවුරුදු සෙල්ලම් තියනවනෙ. ගේ ඇතුළෙ කරන සෙල්ලම් සහ එළියෙ කරන සෙල්ලම්. නොනගතය ඉවර වෙනකම් කාලය ගත කරන්න තමයි ඒ දේවල් තියන්නෙ.

l අලුත් අවුරුද්ද සහ කුඩා දරුවන් අතර පවතින සම්බන්ධතාවය මොන වගේද?

මේ දේවල් නිසා ඇත්තටම හොඳ දෙයක් වෙනවා. එකක් තමයි එදාට පවුලෙ ඔක්කොමලා එකතු වෙනවා. වෙන දවස්වලට තාත්තා එන්නෙ නැහැ සෙල්ලම් කරන්න. මොකද තාත්තා කියන්නෙ බොහොම ගරු ගාම්භීරව වැඩ කරන කෙනෙක්නෙ. බොහොම අඩුවෙන් තමයි තාත්‍තට සෙල්ලම් කරන්න එන්න කියලා කියන්නෙ. නමුත් මෙදාට තාත්තත් ඇවිල්ලා පැඳුරෙ වාඩි වෙලා සෙල්ලම් කරන වැඩවලට එකතු වෙනවා. එතකොට ඒක එදාට සිදු වෙන වැදගත් දෙයක් වෙනවා. කවුරුත් තරහ වෙන්නෙ නැති නිසා ඒකෙන් පවුලේ අය අතර හොඳ හිත පැතිරෙනවා.

ඒ වගේම තවත් දෙයක් තමයි නොනගතය වෙලාවෙ ලිප පත්තු කරන්න බැහැ. මොකද ලිප නිවලනෙ තියන්නෙ. ලිප පත්තු කරන්න නැකතක් එනවා. ඒ වගේම වතුර ගේන්න ළිඳට යන්නත් බැහැ. නොනගතයේදී ළිඳට යන්නෙ නැහැ. නමුත් අලුත් අවුරුද්ද ලබපු ගමන්ම අම්මා හෝ වෙනත් කෙනෙක් අඟුරු කෑල්ලක්, සමන් පිච්ච මල් ටිකක්, තඹ කාසියක් වගේ දෙයක් අරන් ළිඳට යනවා. ඒකෙන් වෙන්නෙ අපි දෙයක් ළිඳට දෙනවා වගේම ඒකෙන් යමක් ගන්නවා. විද්‍යාඥයින් පවා කියනවා අඟුරුවල යමක් පිරිසිදු කිරීමේ ශක්තියක් තිබෙනවා කියලා. අවුරුද්දක් තිස්සෙ ළිඳ අපිරිසුදු වෙලානෙ ති‍ෙයන්නෙ. ඒ අඟුරු කෑලි ටික ළිඳ පිරිසිදු කරන්න උදව් වෙනවලු. ඒ වගේම තඹ කාසියක් දානවා. දැන් නම් තඹ හොයා ගන්නත් නැහැ. තඹ කාසියක් දාන්නෙ මොකටද? මිනිස් ශරීරයට තඹ වුවමනා වෙනවා. තඹ ගන්න විදියක් නැති නිසා ළිඳට තඹ කාසියක් දානවා. ඒක අවුරුද්දක් තිස්සේ දිය වෙනවා. එතකොට ළිඳේ වතුර බොනකොට ඇඟට තඹ එනවා.

l ‘වැඩ ඇල්ලීම’ යන්නෙන් අදහස් වෙන්නෙ කුමක්ද?

වැඩ අල්ලනවා කියලා කියන්නෙ මුලින්ම නැකතට හැම දෙනාම කෑම කන්න පටන් ගන්නවා. තාත්තා අම්මටත් කවනවා. දරුවන්ටත් කවනවා. ඒ වෙලාවෙ පවුලම වෙන වෙනම නෙමෙයි ඉන්නෙ එකම තැනක ඉන්නෙ. ඒ දේවල් නිසා පවුලේ එක් වීම සිදු වෙනවා. ඒක ඉතාමත්ම වැදගත් දෙයක් වෙනවා. තවත් දෙයක් තමයි ගම්වල වැඩ අල්ලනවා කියන්නෙ උදැල්ලක් අරගෙන එළිමහනට ගිහිල්ලා ගොවිතැන ආරම්භ කරන්න පස් පිඬක් දෙකක් කපනවා. ගොවිතැන කරන්නෙ උදැල්ලෙන් කැපීමෙන්නෙ. එහෙමත් නැත්නම් ළඟ තියන කිරි ගහකින් පොත්තක් කපනවා කිරි එනවා බලන්න. කිරි ගස් සහ නොවන ඒවා කීපයක්ම තිබෙනවා. එතකොට අලුත් අවුරුද්දේ කිරි තමයි අපි දකින්නෙ. උයන්නත් අපි කිරීම තමයි පාවිච්චි කරන්නෙ.

l හිස තෙල් ගෑමත් අලුත් අවුරුද්දේ සුවිශේෂී අංගයක් වනවා නේද?

ඔව් අනිවාර්යයෙන්ම. තවත් අවුරුද්දෙම කොටසක් එනවා ‘හිස තෙල් ගෑම’ කියලා. එදාට කරන්නෙ හොඳ නැකතකට හිසේ බෙහෙත් තෙල් ගාන එකයි. අවුරුද්දක් තිස්සෙ ජීවත් වෙනකොට අපේ ශරීරයට නොයෙක් කුණු කසළ එකතු වෙනවා. විශේෂයෙන්ම හිසට නොයෙක් නොයෙක් දේවල් එකතු වෙනවා. ගමන් බිමන් යනකොට දූවිලි වගේ දෙවල් එකතු වෙනවා. ඒ වගේම හිස්හොරි වගේ දේවලුත් තියනවා. ඒ නිසා එදාට හිසේ බෙහෙත් තෙල් ගානවා. ඇඹුල් ජාති වගේ දේවල් දාලා වෙනම තෙල් වර්ගයක් එදාට සකස් කරනවා. හිසේ මොනවා හෝ අපද්‍රව්‍යයක් තිබුණා නම් ඒ දේවල් එදාට ඉවත් වෙලා යනවා.

 

නව සඳ බැලීමෙන් අදහස් වන්නේ කුමක්ද?

නව සඳ බැලීම කියලා දේකුත් තිබෙනවා. අලුත් අවුරුද්දට සඳ පායා ගෙන එනකොට ඒක කියන්නෙ නව සඳ කියලා. නව සඳ බැලීම වැදගත් වෙනවා. ඒ මොකද සඳ කියන දේ මෝරන දෙයක් නිසායි. සඳ පොඩියට පටන් ගත්තම මාසයක් තිස්සෙ අඩු වැඩි වෙනවා. ඒ නිසා නව අවුරුද්දෙ නව සඳ කියලා බලනවා. දකුණු පළාතේ කරන දෙයක් තමයි නව සඳ බලනකොට හකුරු කෑල්ලක් වගේ පැණි රස දෙයක් කනවා. ඉන් පසුව අවසානයට රැකී රක්ෂා සඳහා පිටත් වීමේ නැකත එනවා. මේ හැමදේකින්ම වෙන්නෙ පවුල එකමුතු වීමයි. පවුල රැඳුනොත් තමයි සමාජය පවතින්නෙ. සමාජය කියලා කියන්නෙ පවුල්වල එකතුවක්නෙ. පවුල් බිඳ වැටුනොත් සමාජ‍යත් බිඳ වැටෙනවා. එහෙම වෙන්න දෙන්න බැරි නිසා පවුල් හොඳින් තබා ගෙන සමාජය පවත්වා ගෙන යන්න ඕනෙ. පවුල් හොඳින් තියා ගන්න තමයි සිංහල අලුත් අවුරුද්ද එන්නෙ.

l බටහිර ජාතීන් අලුත් අවුරුද්ද සමරන්නේ වෙනත් ආකාරයකටද?

බටහිර ක්‍රමය වෙන්නෙ අවුරුදු දවස්වලට හොඳට කාලා බීලා සතුටු වෙන එකයි. ඊට පස්සෙ මහත්තයා එක කාමරයක ඉන්නවා. නෝනා තවත් කාමරයක ඉන්නවා. සමහර වෙලාවට කොහෙ ඉන්නවද කියලා දන්නෙත් නැහැ. ඒ වගේ දේවල්නෙ වෙන්නෙ. නමුත් අපි එහෙම නෙමෙයිනෙ. එළි වෙනකොට හොඳ අවදියකින්නෙ ඉන්නෙ නැකත එනවා කියලා. බටහිර ක්‍රමයේ තියන්නෙ හොඳට කාලා බීලා නිදා ගන්න එකනෙ. ඉර පායනකොට හොඳටම නිදිනෙ. අපි එහෙම නෙමෙයිනෙ. අපි සිංහල ක්‍රමයට අවදියෙන් ඉන්නවා. කයෙන් සහ සිතින් යන දෙකෙන්ම අවදියෙන් ඉන්නවා.

l වැඩ ඇල්ලීම යන වචනයෙන් අදහස් වන්නේ කුමක්ද?

වැඩ අල්ලන වෙලාවට ගොවි මහත්මයෙක් වගේ නම් උදැල්ලක් අරන් ගියාට හැම දෙනාම උදලු අරන් යන්න ඕනෙ නැහැනෙ. මම කරන්නෙ කොළයක් අරගෙන මොනවා හරි ලිවීමයි. සංගීතය සම්බන්ධ දෙයක් කරන කෙනෙක් නම් එයාට පුළුවන් එයා වාදනය කරන වීණාව හෝ සිතාරය හෝ වාදනය කරන්න. තමන් කරන ක්ෂේත්‍රයට සම්බන්ධ දෙයක් නැකතට ආරම්භ කළ හැකියි. මේ විදියට කවුරුත් කරන උත්සවයක් තමයි සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නෙ. ගේ පිරිසුදු වෙනවා. ඇඳුම් පිරිසිදු වෙනවා. ඒත් එක්කම හිතත් පිරිසිදු වෙනවා. සිංහල අලුත් අවුරුද්දෙ වටිනාකම මේක තමයි.

l අනෙක් ජාතීන්ට වඩා සිංහල ජාතියට අලුත් අවුරුද්ද වැදගත් වෙන්න ප්‍රධාන වෙන හේතුවක් තිබෙනවාද?

ඒක වෙන්නෙ නැකැත් නිසානෙ. සිංහල බෞද්ධ පිරිස විතරනෙ නැකැත් විශ්වාස කරන්නෙ. ක්‍රිස්තියානි පිරිස නැකත් විශ්වාස කරන්නෙ නැහැ. එහෙම බැලුවොත් ඒකට සිංහල අවුරුද්ද කියන එක වැරැදියි. එහෙනම් මේක සිංහල බෞද්ධ අවුරුද්ද වෙන්නෙ ඕනෙ. නැකත් හා ඒ සියලුම දේවල් විශ්වාස කරන්නෙ බෞද්ධයන් විතරයි. ඒ වගේම හින්දු භක්තිකයොත් විශ්වාස කරනවා. එහෙම බැලුවොත් මේක සිංහල බෞද්ධ දෙමළ හින්දු වැඩක්නෙ. නමුත් ඒ නම ටිකක් දිග එතකොට දිග වැඩියි. ඒ නිසා මේකට කියන්න තියන හොඳම නම තමයි සූර්ය මංගල්‍යය කියලා. මේ සියල්ලම සිදු වෙන්නෙ සූර්යයාගේ ගමන් නිසායි. ඒ නිසා මම යෝජනා කරන්නෙ වෙනත් නම් කියන්නෙ නැතුව මේ දේ සූර්ය මංගල්‍යය කියලා හැඳින්වුවා නම් නිවැරදියි කියලා.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT