බටහිර රුසියාවේ දුම්රිය මාර්ගයකට ඉහළින් පිහිටි පාලමක් කඩා වැටීමෙන් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයන් 5 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ස්මොලෙන්ස්ක් කලාපයේ වියස්මා නුවර දී මේ අනතුර සිදු වී ඇති අතර, ඉන් එම මාර්ගයේ සියලුම දුම්රිය ධාවන අවලංගු කිරීමට සිදු වී ඇතැයි ද වාර්තා වේ. පාලම කඩා වැටීමෙන් ගෑස් නළ මාර්ගවලට ද හානි සිදු වී ඇති අතර, නිවාස අටදහසකට පමණ ගෑස් සැපයුම නතර වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
එම පාලම කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, පාලම ඉතා පැරැණි තත්ත්වයේ පැවැතීම කඩා වැටීමට හේතු වන්නට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. පසුගිය කාලය තුළ එම පාලමේ කිසිදු අලුත්වැඩියාවක් සිදුවී නැති බවත් වාර්තා වේ. කෙසේ වුවද අනතුර සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පාලම කඩා වැටෙන මොහොතේ ඒ මතින් ධාවනය වූ මෝටර් රථයක් සහ කුඩා ලොරි රථයක් ද දුම්රිය මාර්ගයට වැටී ඇති අතර, තුවාල ලබා ඇත්තේ එම වාහන තුළ සිටි පිරිස බව ද වාර්තා වේ. පාලමෙහි සුන්බුන් ඉවත් කර දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට දිවා රාත්‍රී මෙහෙයුමක් ද ක්‍රියාත්මක බව වාර්තා වේ.