කෝඩ්ඩමුණෙයි ක්‍රීඩා සමාජය (KSC) සහ කෝඩ්ඩමුණෙයි ක්‍රීඩා ගම්මානය (KSV) එක්ව පළමු වරට සංවිධානය කරන කණ්ඩායම් 5ක් සහභාගි වන ආරාධිත පාසල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ ජය ලැබීමට කොළඹ ඩී.එස්. සේනානායක සහ කොළඹ තර්ස්ටන් විදුහල් සමත් විය.
මඩකලපුව කෝඩ්ඩමුණෙයි ක්‍රීඩා ගම්මානයේදී පැවැත්වෙන මෙම තරගාවලියට දිවයිනේ පළමු පෙළ ක්‍රීඩා කරන කොළඹ ඩී.එස්. සේනානායක, මොරටුව වේල්ස් කුමර, ගාල්ල මහින්ද, කොළඹ තර්ස්ටන් විදුහල් සමඟ ඒකාබද්ධ කණ්ඩායම (නැඟී එන ක්‍රීඩකයන්ගේ වැඩසටහන) එක්ව සිටිති. ලීග් ක්‍රමයට පැවැත්වෙන මේ තරගාවලියේ පළමු වටය අද නිමා වීමට නියමිත අතර, ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් අවසන් තරගයට සුදුසුකම් ලබයි. අංක 3 සහ 4 හිමි කර ගන්නා කණ්ඩායම් තෙවැනි ස්ථානය සඳහා වූ තරගයට සුදුසුකම් ලබනු ඇත. පළමු දිනයේ පැවති තරගයකදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහල විසින් ගාල්ල මහින්ද විදුහල කඩුලු 8කින් පැරදවූ අතර, අනෙක් තරගයේදී කොළඹ තර්ස්ටන් විදුහල හමුවේ මොරටුව වේල්ස් කුමර විදුහල කඩුලු 6කින් පරාජය විය.
තර්ස්ටන් පිලට එරෙහිව රිවිත් ජයසූරිය (වේල්ස් කුමර) නොදැවී ලකුණු 95ක් රැස් කළේය. ගවිරු සෙන්හස් (ඩී.එස්.) සහ තනුජ රාජපක්ෂ (තර්ස්ටන්) පිත්තෙන් දස්කම් දක්වමින් අර්ධ ශතක රැස් කළහ.
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට කඩුලු 8ක ජයක්
ගාල්ල මහින්ද – 99 (ඕවර 19.5) කවීෂ ගිත්මාල් 24 (දැහැම් නිර්මාල් 14/3, ෂනාල් බිනුෂ්ක 11/2, අක්මාල් ෆස්ලි 15/2)
කොළඹ ඩී.එස්. සේනානායක – 102/2 (ඕවර 13.4) ගවිරු සෙන්හස් 54, පෙසඳු වීරසිංහ නොදැවී 36 (කවීෂ ගිත්මාල් 7/2)
තර්ස්ටන් විද්‍යාලය කඩුලු 6කින් ජයගනී
මොරටුව වේල්ස් කුමර – 159/6 (ඕවර 20) රිවිත් ජයසූරිය නොදැවී 95, සුවස් ප්‍රනාන්දු 39 (හරිත් ශාලක 5/2)
තර්ස්ටන් – 162/4 (ඕවර 16.5) තනුජ රාජපක්ෂ 50, විහස් තෙව්මික නොදැවී 30, ඩිනාල් ඉඳුවර 24, මුලිත ද කොස්තා 20 (මතීෂ අපෝන්සු 29/2)