ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය කර ඇති නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 9 දා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (5) තීරණය කළේය.
තමා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා එම වෛද්‍යවරයා විසින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කරන ලදි.
මේ රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා හමුවේ සලකා බැලිණි. වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ වෙද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් ගොනු කොට ඇති පෙත්සම් වගඋත්තරකරුවන් හැටියට පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මාලිගාකන්ද මහේත්‍රාත්වරිය ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරන ලද බව පෙත්සමෙහි සඳහන් වේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් තමා කිසිදු සම්බන්ධයක් නැති බවද තමාට ඉහළින් ලැබෙන නියෝග අනුව තමා කටයුතු කළ බව පෙත්සම්කරු කියයි. එබැවින් රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම සම්පූර්ණයෙන් නීතියට පටහැනි බව පෙත්සම්කරු පෙන්වා පෙන්වා දී ඇත. එබැවින් පොදු දේපළ පනත යටතේ තමන් රක්ෂිත බන්ධනාගාරගත පත් කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය විසින් කර ඇති නියෝගය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර වෛද්‍යවරයා සිය පෙත්සම මඟින් ඉල්ලා ඇත.
නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥවරුන් වන සරත් ජයමාන්න සහ රොමේෂ් ද සිල්වා මහත්වරු පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියහ.