කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට සහ ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි කර ඇති බවට පරිගණක අපරාධ කොට්ඨාසය විසින් චෝදනා ගොනු කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (5)නියෝග කළේය. තම සේවා දායකයන් ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි සිදු කර නැති බවට අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා ඇතුළු නීතිඥ මඬුල්ල සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර දෙපළ බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
පොලිසිය අවස්ථා කිහිපයකදී මඟහරිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙන් කළ දිනය වන බදාදා අධිකරණයට ඉදිරිපත් නොවී කොල්ලුපිටිය පොලිසියට වෙන් කොට ඇති දිනය වන බ්‍රහස්පතින්දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් හිතාමතාම අධිකරණය මඟහැරීමක් සිදු කර ඇති බවට නිරීක්ෂණය වන බැවින් ඇප දීමට හැකියාවක් නැතැයි තීන්දුව ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය. පෙරේදා (4) අධිකරණය ඉදිරිපිටදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ඔවුන් දෙදනො පෙරේදා (4) නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වීමට පැමිණ තිබූ අතර, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල කාමරයට නීතිඥවරුන් ගොස් මෝසම ගොනු කිරීමට අවසර ඉල්ලා තිබිණි. එහිදී එදින නඩු විභාගයට ගන්නේ කොල්ලුපිටිය පොලිසියට අදාළ නඩු බවත් එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දිනයක් නොවන බවත් සලකමින් එම මෝෂන් පත භාර ගැනීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ අනුව ඔවුන් අධිකරණයෙන් පිටතදී මාධ්‍යයට අදහස් දක්වමින් සිටියදී කාන්තා පොලිස් නිලධාරීන් සිව්දෙනකුගෙන් සමන්විත නිලධාරීන් 20ක පමණ පිරිසක් පැමිණ සැකකරුවෝ දෙදෙනා අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ලැබූහ.
මේ අතර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය පසුගියදා (2) තීන්දු කර තිබිණි.
ඇප මත මුදාහරින ලෙස අපේක්ෂිත ඇපයක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිය නියෝගය නිකුත් කරමින් පසුගිය මාර්තු මස 27 දා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. අපෙක්ෂිත ඇපය ඉල්ලමින් තමන් මෙරට ප්‍රවීණ නිළියක් වන බවත් දේශපාලනයේ නිරත බවත් කියමින් ඇයට අපකීර්තියක් ඇති කිරිමට උත්සාහ දරා ඇතැයි දක්වා තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ලබන 27 දින යළි කැඳවන ලෙසත්, එදිනට විමර්ශන ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.