බ්‍රිතාන්‍ය ජාතිකයන් තිදෙනකු ඇතුළුව සහන සේවකයන් 7 දෙනකු ගාසා තීරයේදී ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් ඊශ්‍රායලයට ආයුධ අලෙවි කිරීම නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කළ ඉල්ලීමට බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වින්ස්ටන් චර්චිල්ගේ මුණුබුරා වන නිකලස් සෝම්ස් සහාය පළ කර ඇතැයි ‘දි ගාඩියන්‘ පුවත් සේවය වාර්තා කළේය.
රිෂී සුනාක්ගේ කොන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයකු ද වන සෝම්ස් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය ගාසා තීරයේ සිදු කරන ක්‍රියාමාර්ග සම්බන්ධව එම ප්‍රහාරය මඟින් බරපතළ පණිවුඩයක් ලබා දී ඇති බවය. වින්ස්ටන් චර්චිල්ගේ මුණුබුරා මේ ප්‍රකාශය සිදු කරනු ලැබුවේ ඊශ්‍රායලයට ආයුධ අලෙවි කිරීමෙන් බ්‍රිතාන්‍ය රජය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බවට එරට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥයන් සියයකට වැඩි පිරිසක් රිෂී සුනාක්ට ලිඛිතව චෝදනා කිරීමෙන් පසුවය. පසුගියදා බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කර ඇති එම ලිපිය පිටු 17කින් සමන්විත බව ද වාර්තා වේ.
කොන්සර්වේටිව් පක්ෂයේ තවත් මන්ත්‍රීවරු කිහිපදෙනකු ද චර්චිල්ගේ මුණුබුරාගේ අදහසට එකඟතාව පළ කර ඇතැයි ‘දි ගාඩියන්‘ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.