ආබාධිත හමුදා කෝප්‍රල්වරුන් තිදෙනෙකු විසින් යුද හමුදා සැරයන් මේජර්වරයකුගේ බිරියක මෙන්ම හමුදා සෙබළුන් තිදෙනෙකුගේ මවක ද වන 50 හැවිරිදි කාන්තාවක් රංචු ගැසී බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියට අදාළව අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුව අප්‍රේල් මස 4වැනි දින විභාගයට ගැනීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා නියෝග කළේය.
එදිනට සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මේ අපරාධමය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ හොරොව්පොතාන පොලිසියේ නිලධාරීන්ට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මේ නඩුවේ විත්තිකාර හිටපු ආබාධිත හමුදා කෝප්‍රල්වරුන් තිදෙනාටද එදින මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද තවදුරටත් නියෝග කරනු ලැබීය.
විත්තිකාර ආබාධිත හිටපු හමුදා කෝප්‍රල්වරුන් තිදෙනාට වෙන් වෙන් වශයෙන් අධිචෝදනා හත බැගින් නීතිපතිවරයා භාරදීමෙන් අනතුරුව තමන්ට එරෙහිව නඟා ඇති සියලු අධි චෝදනාවන්ට නිවැරදිකරුවන් බව නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා මඟින් විත්තිකරුවෝ මීට පෙර අධිකරණයට දැන්වූහ. 2013 වසරේ ජූලි මස 23 වැනි දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් හොරොව්පොතානදී කාන්තාවක දූෂ්‍ය කර ඇය සතුව තිබූ රන් භාණ්ඩ මුදල් සහ ජංගම දුරකතන සොරකම් කිරීම ඇතුළු අධිචෝදනා හතක් යටතේ වෙන් වෙන් වශයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 443 364 (2) 364 383 සහ 314 වගන්ති ප්‍රකාරවය. මෙසේ අධිචෝදනා ලැබ සිටින්නේ මාතලේ, මඩහපොල ස්ථීර ලිපිනයේ සහ හොරොව්පොතාන, පරන්ගියාවාඩිය, නබඩවැව තාවකාලික ලිපිනයේ කොලොන්නගේ ඒ. සුමිත් විජේරත්න, අනුරාධපුර විහාරපාලුම ලිපිනයේ ජී. ලලිත් ගුණසිංහ සහ කුරුණාගල හිදගොල්ල ළිඳපිටියවත්ත ලිපිනයේ ඩබ්ලිව්.ඒ. උදය ශාන්ත ප්‍රේමදාස යන හිටපු යුද හමුදා ආබාධිත කෝප්‍රල්වරුන් තිදෙෙනකුය.
විත්තිකරුවන් නොච්චියාගම ළිඳවැව යුද හමුදා කඳවුරේ සක්‍රිය සේවයේ යෙදී සිටිමින් 2013 වසරේ ජූලි මස 28 වැනි දින රාත්‍රියේ බීමත්ව යතුරුපැදිවලින් හොරොව්පොතාන නබඩවැව ප්‍රදේශයට ගොස් මේ අපරාධය කර ඇති බව මේ සම්බන්ධයෙන් කළ මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වු බව අධිකරණයේදී කියැවිණි. විත්තිකරුවන් බීමත්ව රංචු ගැසී ඉතා බරපතළ ලෙස සමූහ දූෂණයට ලක් කර ඇති කාන්තාව යුද හමුදාවේ සැරයන් මේජර්වරයකුගේ බිරියක බවත් ඇයට පුතුන් තිදෙෙනකු සිටින බවත් ඉන් පුතුන් දෙදෙෙනකු යුද හමුදා සෙබළුන් බවත් අනෙක් පුතා ගුවන් හමුදා සෙබළකු බවත් අධිකරණයේදී තවදුරටත් අනාවරණය විය. විත්තිකාර හමුදා කෝප්‍රල්වරුන් සක්‍රිය යුද හමුදා සේවයේ නිරතව සිටියදී මේ අපරාධය කළ බවට විමර්ශනවලදී හෙළි කර ගැනීමෙන් අනතුරුව යුද හමුදාපතිවරයාගේ නියෝග මත ඔවුන් යුද හමුදා සක්‍රිය සේවයන් නෙරපා හැරිණි. මේ නඩුවේ සිව් වන විත්තිකරු ලෙස නම් කර සිටි හිටපු යුද හමුදා කෝප්‍රල්වරයකු වන බී. නිමලදාස යන අය රජයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටී. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා පෙනී සිටියේය. මේ නඩුවේ ලඝු නොවන මූලික විභාගය කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අතර විත්තිකරුවන්ට අධිචෝදනා භාරදීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණ.