Home » ශ්‍රී ලංකාවට කොරියාවේ නව රැකියා දොරටු රැසක් විවර වෙයි

ශ්‍රී ලංකාවට කොරියාවේ නව රැකියා දොරටු රැසක් විවර වෙයි

by yasara
April 5, 2024 11:49 am 0 comment

කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සූ  (Han Duck Soo) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ  (04) සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය.

එහිදී කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව ප්‍රකාශ කළේය.

කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා  තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බලකායට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳව ද කොරියානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී  සඳහන් කළේය.

පසුගිය වකවානුවේ පැවති  මූල්‍ය  අර්බුදය හමුවේ නැවත නැගී සිටින ශ්‍රී ලංකාවට, තම රට පැරිස් සමාජයේ සාමාජිකයකු ලෙස ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යැම සඳහා ඒ තුළ සෑම විටම පෙනී සිටින බව කොරියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාවය, ධීවර  ක්ෂේත්‍රය හා ඒකාබද්ධ ආයෝජන ක්ෂේත්‍රයන්හි දැනට ගිවිසගෙන ඇති ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කරන අතර, ක්‍රියාත්මක කළ යුතු ඉදිරි ව්‍යාපෘති සඳහා වන පූර්ව කටයුතු සඳහා වන කාලය අවම කිරීමට පියවර ගන්නා ලෙස කොරියානු අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

පාවෙන සූර්ය බල ශක්ති ඉදිකිරීම් සඳහා වන ඉඩ තව තවත් වැඩි කිරීමේ වැදගත්කම කොරියානු අග්‍රාමාත්‍යවරයා පෙන්වා  දුන්නේය.

කොරියානු ජනතාවද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඉතා ප්‍රියතාවයක් දක්වන බවත්, ලෝකයේ ආකර්ෂණීයම සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ වැඩි ඉඩකඩ ලබාදීමට සහය දැක්වීමටද කොරියානු අග්‍රාමාත්‍යවරයා එකඟත්වය පළ කළේය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී, කොරියානු භාෂාව අධ්‍යාපන විෂයක් ලෙස ඇතුළත් කිරීමට ගත් පියවර කොරියානු අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

කොවිඩ් ව්‍යසනය හමුවේ දුන් සහයෝගය ද බෙහෙවින් අගය කළේය. අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව හා කොරියාව අතර ඇති සම්බන්ධතා තව තවත් ශක්තිමත් වීමට මෙකී කාරණා ද එක්වන බවත් කොරියානු අග්‍රාමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තව තවත් පුළුල් කිරීම කෙරෙහිද අග්‍රාමාත්‍යවරුන් දෙපළ මෙහිදී සාකච්ඡා කළේය. කොරියානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්, රාජ්‍ය  අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, අනුපම පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, කොරියාවේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රී පානබොක්කේ, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ මෙම අවස්ථාවට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT