තේ වතුවල වැඩ කිරීමට වතු කම්කරුවන් නොමැති වීම හමුවේ තේ දලු නෙළීමට චීනයෙන් මෙරටට ආනයනය කර හඳුන්වා දූන් තේ දලු නෙළීමේ යන්ත්‍රයෙන් දිනකට විශාල තේ අස්වැන්නක් නෙළිය හැකි බව හැටන් වැවිලි සමාගමේ සමාන්‍යාධිකාරි වරුණ ප්‍රනාන්දු මහතා පැවසීය.
හැටන් වැවිලි සමාගම මෙරට තේ ආර්ථිකය ඉහළ දැමීමට මේ වන විට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මාධ්‍යවේදින් දැනුම්වත් කිරීම සඳහා හැටන් දික්ඔය වතුයායේ පසුගියදා (29) පැවති සංචාරයක් අතරතුර මාධ්‍යට අදහස් දක්වමින් හැටන් වැවිලි සමාගමේ සමාන්‍යාධිකාරි වරුණ ප්‍රනාන්දු මහතා ඒ බව පැවසීය.
“පසුගිය වසර කිහිපය තුළ තේ වගාවට රසායනික පොහොර යෙදීම නතර කර තිබියදී වතු කම්කරුවන් තේ කර්මාන්තයේ රැකියාවලින් ඉවත් වූ නිසා වර්තමානය වන විට තේ කර්මාන්තයේ රැකියාවල නිරත වීමට වතු කම්කරුවන් නොමැති නිසා ආනයනය කළ තේ දලු නෙළීමේ යන්ත්‍රයෙන් දිනකට අමු තේ දලු කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් නෙළිය හැකි බවත්, දිනක වැටුපකට වතු කම්කරුවකු එම යන්ත්‍රයෙන් අමු තේ දලු කිලෝ 40ක් නෙළිය යුතු බවත්, ඊට වැඩියෙන් නෙළන සෑම තේ දලු කිලෝවකටම රුපියල් 50 බැඟින් අමතර මුදලක් ගෙවන බවයි.”
තවද වතු කම්කරුවන් තේ කර්මාන්තයේ රැකියාවල රඳවා ගැනීම සඳහා එම වතු කම්කරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර රැකියා අපේක්ෂාවෙන් සිටි දරුවන්ට තම වතුයායේ ක්ෂේත්‍ර නිලධාරී තනතුරු සඳහා පත් කර ඇති බවත්, ඊට අමතරව තම වතු සමාගම විසින් වතු කම්කරුවන්ගේ සුබ සාධන කටයුතු නංවාලීමට විශාල පිරිවැයක් දරා ඇති බවයි.
තම වතු සමාගමට තේ වතු 14ක් තිබෙන අතර එම වතුවල නිෂ්පාදිත නිමි තේ කුඩු අපනයනය කරන මෙරට ප්‍රධානතම වතු සමාගම තම වතු සමාගම වන අතර තේ නිෂ්පාදනය සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වී ඇති බවත්, ඩොලරයේ අගය පහළ යාම හමුවේ තේ මිල පහළ බැස ඇති බවත්, එම තත්ත්වය මත අඩු පිරිවැයකින් තේ නිෂ්පාදනය කිරීම තම වතු සමාගමේ අරමුණ බවත් සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේය.
තවද තේ නිෂ්පාදනය සඳහා ආනයනය කරන නවීන තාක්ෂණයෙන් යුතු යන්ත්‍ර සූත්‍ර, විදුලිය සහ තේ වගාව සඳහා යොදන රසායනික ද්‍රව්‍ය පොහොර සඳහා රජයෙන් යම් සහනාධාරයක් ලබා දෙන්නේ නම් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීමට හැකියාව ඇති බවත්, එසේ වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළහොත් එම කම්කරුවන් තවදුරටත් තේ කර්මාන්තයේ රැකියාවල නිරතව සිටින බවත් වරුණ ප්‍රනාන්දු මහතා කියා සිටියේය. තම වතු සමාගමට අයත් වතුවල තේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තේ දලු වියළීම සඳහා දර භාවිත කරන බවත්, දර සඳහා තම වතුයායේම වගා කර ඇති දැව කඳන් කැපීමට අවසර ලබා ගැනීමේදී වැය වන කාලය සහ පවතින අපහසුතා හේතුවෙන් වෙනත් ප්‍රදේශවලින් දර ප්‍රවාහනය කිරීමට සිදු වීම හමුවේ විශාල පිරිවැයක් දැරීමට සිදු වී ඇතිද සමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මෙම සංචාරය සඳහා හැටන් වැවිලි සමාගමේ පාලන අධිකාරියේ උසස් නිලධාරීහු සහ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීහු රැසක් සහභාගී වූහ.
හැටන් – රංජිත් රාජපක්ෂ