Home » කොත්මල්පුර-ගැමුණුපුර ජනයාට දවස් 7කින් බොන්න වතුර නෑ
ශ්‍රම ශක්ති සංවිධානයෙන් ජල මණ්ඩලයට පොලු

කොත්මල්පුර-ගැමුණුපුර ජනයාට දවස් 7කින් බොන්න වතුර නෑ

by sachintha
April 1, 2024 2:30 am 0 comment

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොත්මල්පුර හා ගැමුණුපුර ගම්වැසියන්ට දැනට දින හතක කාලයක සිට පානීය ජල පහසුකම් ලබාදීම අත්හිටුවීමෙන් ප්‍රදේශයේ ජනතාව අපහසුතාවට පත්වී තිබේ.

මෙම ගම්මාන දෙකට පානීය ජලය සපයා ඇත්තේ ගම්වාසීන් පිහිටුවාගත් ශ්‍රම ශක්ති නම් ප්‍රජා මූල සංවිධානය මඟිනි. මෙම ප්‍රජා මූල සංවිධානය මඟින් ජල සම්පත් මණ්ඩලයට රු. ලක්ෂ 21ක් ගෙවීම පැහැරහැර ඇති නිසා මෙසේ ජල සැපයුම අත්හිටුවා ඇත. ජල පහසුකම ලබාගෙන මුදල් ගෙවා ඇති අයටත්, නොගෙවූ අයටත් මෙසේ පොදුවේ පසුගිය 26 වෙනිදා සිට ජලය ලබා දීම අත්හිටුවා ඇතැයි ජනතාව පෙන්වා දෙති. මේ තත්ත්වය නිසා මෙතෙක් පානය සඳහාද, ඉවුම් පිහුම් කටයුතු සඳහාද, ස්නානය සහ ශරීර කෘත්‍ය සඳහාද ජලය නොමැතිකමින් ජනතාව විශාල අපහසුතාවකට පත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් මෙම ශ්‍රම ශක්ති ප්‍රජා මූල සංවිධානයේ සභාපති අයි.කේ.ජී. කිරිබණ්ඩා මහතා හමු වී කළ විමසීමකදී ඔහු කියා සිටියේ, ජල සම්පත් මණ්ඩලයට මෙම ප්‍රජා මූල සංවිධානය මඟින් රු. ලක්ෂ 21ක් ගෙවීමට ඇති නිසාත් මෙම මුදල් මෙතෙක් ජල සම්පත් මණ්ඩලයට ගෙවා නැති නිසාත් මෙම ජලය ලබාදීම අත්හිටුවීම සිදු කළ බවයි.

එමෙන්ම තම ප්‍රජා මූල සංවිධානය මඟින් ජල පහසුකම ලබා ගන්නා පාරිභෝගිකයන් 274දෙනකු සිටින බවත් ඉන් හරි අඩක් පමණ දෙනකු ජල පහසුකම ලබා ගත්තද රු. දහස් ගණන් මුදල් නොගෙවන බවත් හරි අඩක් පමණ දෙනකු පමණක් මුදල් ගෙවන බවත් ඔවුන් පෙන්වා දෙයි. මෙහිදී ජල සම්පත් මණ්ඩලයේ කාර්යභාරය අනුව මුදල් ගෙවන අයට පමණක් ජල පහසුකම ලබා දීමට හැකි වුවත් සමස්තයක් වශයෙන් පොදුවේ මුදල් ගෙවීමට ඇති නිසා මෙලෙස ජල සැපයුම මණ්ඩලය මඟින් අත්හිටුවා තිබේ.

සංවිධානයේ භාණ්ඩාගාරික නිශාන්ත සංජීව මහතා පවසා සිටියේ ජලය අප කාටත් අත්‍යවශ්‍ය නිසා මුදල් ගෙවීමට ඇති අය හමු වී මුදල් එකතු කරන බවත් මෙතෙක් රු. ලක්ෂ 11ක් පමණ එකතු කර ඇති අතර, ජල පාරිභෝගිකයන් එක්රැස් කොට රැස්වීමක් පවත්වා ඉදිරියේ ඉතිරි මුදල් එකතු කිරීමට පියවර ගන්නා බවත්ය.

තඹුත්තේගම – සී.එම්. ආරියපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT