Home » රටේ ස්ථාවරත්වය වෙනුවෙන් පළමුව පැවැත්විය යුත්තේ ජනපතිවරණයයි -එජාප කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක

රටේ ස්ථාවරත්වය වෙනුවෙන් පළමුව පැවැත්විය යුත්තේ ජනපතිවරණයයි -එජාප කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක

by sachintha
April 1, 2024 12:56 am 0 comment

මෙම වසරේ පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් ද මහ මැතිවරණයක් ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබුණත්, රටේ ස්ථාවරත්වය වෙනුවෙන් පළමුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව තම ස්ථාවරය බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහතා පැවසීය.

ජනප්‍රිය හා ප්‍රසිද්ධ තීන්දු මෙන්ම බොරු පොරොන්දු දේශපාලන සම්ප්‍රදාය අවසන් කළ යුතුව ඇති බවත් ඒ වෙනුවට රටට අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ගන්නා ප්‍රතිපත්තිමය දේශපාලනයට මුල්තැන දිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය. එක්සත් ජාතික පක්ෂය බලයේ සිටි සෑම අවස්ථාවකම රට සංවර්ධනය වී ඉදිරියට ගිය බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය දුර්වල වූ අවස්ථාවේ රට බංකොලොත් වූ බව ද පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහතා මෙසේ ද පැවසීය.

රටේ ඉදිරි අනාගතය කොයි ආකාරයට සකස් වන්නේ ද යන්න තීරණය වෙන්නේ ජනාධිපතිවරණයක් හරහායි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එළඹෙන ඔක්තෝබර් 17 වැනිදාට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතුයි. එය නියමිත වෙලාවට දැනුම් දීමට ජනාධිපතිවරයා කටයුතු කරයි. නමුත් දිනය තීන්දු කරන්නේ මැතිවරණ කොමිසම විසිනුයි. රට පසුගිය සමයේ තිබූ තත්ත්වයට සාපේක්ෂව හොඳ තැනකට පත්ව තිබුණත් ජනතාවට තවමත් දුෂ්කරතා තිබෙනවා. ඒ සත්‍ය අපි වසන් කළ යුතු නෑ. නමුත් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දියත් කර ඇති රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සාර්ථක බව ප්‍රායෝගිකව ඔප්පු වී තිබෙනවා. ඒ අනුව මේ වැඩපිළිවෙළ ඔස්සේ ඉදිරියට යෑමෙන් මේ පවතින දුෂ්කරතා අවම කර ගන්නට හැකියාව ලැබෙනවා. ඇතැමුන් ජනාධිපතිවරයාට චෝදනා කරනවා. එතුමා කළ වැරැද්ද බංකොලොත් වූ රට යළි ගොඩනැඟීම ද කියලා ප්‍රශ්න කළ යුතුයි.

මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ද පිළිතුරු දෙමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේ ද පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නින්දෙන් නැඟිටලා වගේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ප්‍රකාශ නිකුත් කරනවා. ඔහු දැන් ද මහ මොළකරු සොයාගෙන තියෙන්නේ? ඔහු බලයේ සිටින විට මේ මහ මොළකරු සොයන්න උනන්දු නොවුණේ ඇයි? අවුරුදු පහකට වඩා පහුවූ සිදුවීමක් ගැන දැන් එකපාරට විවිධ කතා කියන්න අරගෙන. ජාතිවාදී සහ ආගම්වාදී ඡන්දවලට ආමන්ත්‍රණය කරන මේ දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න ඕනෑ.

මේ වෙනකොට රට ගැන ආයෝජකයන්ට සුබවාදී අදහසක් පැමිණ තිබෙනවා. ණය හිමියන් පවා රට ගැන විශ්වාසය ඇති කරගෙන තිබෙනවා. ඒ හමුවේ පළපුරුද්දක් නැති, දැක්මක් නැති උදවිය මේ ඇති කර ගන්නා එකඟතා, ගිවිසුම් සංශෝධනය කරන බවට විවිධ කතා කියනවා. ඔය කවුරුත් කතා කළා ද රට බංකොලොත් වෙන්න යනකොට. රට බංකොලොත් වූ අවස්ථාවේ රට ගොඩනඟන්න කළ යුතු දේ කිව්වෙත් නෑ. දැන් රට ඔළුව ඉස්සුවට පස්සේ විවිධ කතා කියනවා. ඒ ගැන ජනතාව තීන්දුව අරගනියි. මේ වෙනකොටත් රුපියලේ අගය ඉහළ ගිහින්. එය කෘත්‍රිම ලෙස පාලනය කිරීම නරකයි. මේවායේ ප්‍රතිලාභ ඉදිරියේදී ජනතාවට ලැබෙනවා. නමුත් තවමත් අවදානමක් තිබෙන නිසා, පරිස්සමෙන් කටයුතු කළ යුතුයි. ආදායම් ඉහළ දැමීමට වගේම වියදම් පාලනය කරගත යුතුයි. වසර කිහිපයක් තුළ මේ රට හොඳ තැනකට ගන්න පුළුවන්.

ශිරෝමි අබයසිංහ සහ මැද කොළඹ සමූහ –

ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT