Home » සෞඛ්‍ය අමාත්‍යාංශයත් රාගම ශික්ෂණ රෝහලත් අභ්‍යන්තර පරීක්ෂණයක
කනේ වේදනාවට දුන් එන්නතක් අසාත්මික වී රෝගියකු මිය යෑම

සෞඛ්‍ය අමාත්‍යාංශයත් රාගම ශික්ෂණ රෝහලත් අභ්‍යන්තර පරීක්ෂණයක

by sachintha
April 1, 2024 12:55 am 0 comment

රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සම්පත් රණවීර

කනේ ඇති වූ වේදනාවක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට රාගම ශික්ෂණ රෝහලේ 21 වන වාට්ටුවට පසුගිය 22 වැනිදා ඇතුළත් වූ පුද්ගලයකු ප්‍රතිජීවක එන්නත් මාත්‍රාවක් දීමෙන් අනතුරුව මිය යෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම රාගම ශික්ෂණ රෝහල ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සම්පත් රණවීර මහතා පැවැසීය.

මෙලෙස මිය ගොස් තිබුණේ දෙණියාය, මාවරල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කඳාන ප්‍රදේශයේ නේවාසිකව රැකියාවක නිරත වූ සිසිර කුමාර නමැති විවාහක දෙදරු පියෙකි.

ඔහු රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍ය නිර්දේශ මත පැය අටෙන් අටට කෝඇමොක්සික්ලේව් නමැති ප්‍රතිජීවක ඖෂධය ඔහුට එන්නත් කර ඇති අතර, එකොළොස් වන එන්නත දීමෙන් පසුව රෝගියාට අසාත්මිකතාවක් ඇතිවීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇත. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 27 වැනිදා රෝගියා මිය ගොස් ඇත.

මේ මරණය සම්බන්ධයෙන් රාගම රෝහල් අධ්‍යක්ෂ රණවීර මහතා මෙලෙස අදහස් දැක්වීය.

“රාගම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දී තිබෙනවා. ශරීරයේ පටක කොටස් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

අපේ රෝහලට දවසකට රෝගීන් 450ක් 500ක් නේවාසික රෝගීන් ලෙස ප්‍රතිකාර ගැනීමට එනවා. වසරකට එක්ලක්ෂ හැටදාහක් පමණ රෝගීන් මේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගෙන සුවය ලබා නිවෙසට යනවා. මේ අතරින් එක්කෙනෙක් දෙන්නෙක් අවාසනාවට හෝ මිය ගියොත් ඒකට රෝහලට හෝ වෛද්‍යවරුන්ට දොස් කියා පලක් නෑ. මේ රෝගියාට පැය අටෙන් අටට මේ එන්නත් මාත්‍රාවෙන් දහයක් දී තිබුණා. ඔහු සාමාන්‍ය අන්දමින් සාමාන්‍ය වාට්ටුවක හිටියේ. එකොළොස් වෙනි එන්නතේදී තමයි සංකූලතා ඇති වුණේ. එන්නතේ වරදක් නම් පළවෙනි හෝ දෙවෙනි එන්නතේදී රෝගියාට අසාත්මිකතා ඇති විය යුතුයි. කෙසේ නමුත් මේ වෛද්‍ය පර්යේෂණ සිදු කරන අතරේ ඒ ගැන සොයන්නේ නැතිව විවේචන එල්ල කිරීමෙන් හෑල්ලුවට පත්වෙන්නේ මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයයි.

අපේ රෝහලේ විතරක් නෙවේ මුළු දිවයිනේමත්, ලෝකය පුරා රෝහල්වලත් මේ එන්නත භාවිතයෙන් ඉවත් කර නෑ. මේ ඖෂධය ගැනීමෙන් පසුව සුවය ලැබූ පිරිස විශාලයි.මේ රෝගියාගේ මරණයට හේතුව සිරුරු කොටස් පරීක්ෂාවෙන් පසුව අපට දැනගත හැකි වේවි. මොකද වෛද්‍ය විද්‍යාවට බොරු කරන්න බෑ. පුද්ගලයකුගේ ශරීරයේ ක්‍රියාකාරකම් එකිනෙකාට වෙනස්. සත්‍ය හෙළිවෙනතුරු අපි බලා ඉන්නවා.”

කැලණිය – කේ. එස්. හැන්නදි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT