අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක 9 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක බාබර් සාප්පුවක දී කලක සිට අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් බන්ධනාගාර බස් රථය තුළ සිටිමින් අධිකරණ භූමියේ දී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට තර්ජනය සහ බලපෑම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පුළුල් විමර්ශනයක් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙසට ද පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ගෙන ඇති සැකකරුවන්ගේ රුධිර සාම්පල ඩී. එන්. ඒ. පරීක්ෂණ සඳහා යැවීමට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය. මේ අපරාධය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින සැකකරුවන් දස දෙනා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින්නැයි පැය එකහමාරකට අධික කාලයක් දීර්ඝව කරුණු දක්වමින් නීතිඥයන් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සියලු සැකකරුවන් මේ මස 05 වැනි දින දක්වා යළි රිමාන්ඩ් කිරීමට ද නියෝග කරනු ලැබීය.
මෙසේ යළි රිමාන්ඩ් කළේ අනුරාධපුර යාපනය හන්දිය සහ ඒ අවට පදිංචිකරුවන් වන එස්. ටී. නුවන්, ආර්. පී. වික්‍රමසිරි, ආර්. ඒ. ප්‍රසන්න සුරේෂ් පෙරේරා, ආර්. ඒ. පසිදු රසික, දයා චාමර, කේ.ජී. විදුරංග සත්සර, (දැරියගේ අක්කාගේ සැමියා) ඩබ්. ආර්. එම්. නිහාල් (පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරියකගේ පියා) ඩී. එන්. ටී. ඒ. ඩී. රුවන් තන්ත්‍රි සහ ඩබ්. එම්. චානක ප්‍රියදර්ශන සහ මේ අපරාධයේ ප්‍රධාන සැකකරු වන අනුරාධපුර යාපනය හන්දිය රත්නසිරි සැලුන්හි කරනවෑමියා වන ඩී. එම්. තිලකරත්න සහ අනිල් පියතිලක යන සැකකරුවන්ය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒ. සී. දයානන්ද මහතා පැවැසුවේ 14 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක පුද්ගලයන් පිරිසක් වරින් වර අපයෝජනය කරන බවට ලද තොරතුරකට අනුව වින්දිත දැරිය පොලිස් භාරයට ගෙන ඇයගෙන් ගත් ප්‍රකාශ ඔස්සේ විමර්ශන මෙහෙයවා මේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් විසින් දැරිය බියර් සහ දුම්වැටි පානයට හුරු කර ඇති බව ද මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණ වී තිබේ.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි, පොලිස් පරීක්ෂිකා යමුනා කාන්ති මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒ. සී. දයානන්ද මහතා පෙනී සිටියේය. අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන රංජිත් රාජකරුණා සහ කාලිංග රවින්ද්‍ර මහත්වරු පෙනී සිටියහ. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥවරුන් වන චන්දන වීරකෝන්, ප්‍රියදර්ශනී අත්තනායක, සුනන්ද තෙන්නකෝන් සහ ප්‍රදීප් දිසානායක මහත්ම මහත්මීන්ය. අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා යමුනා කාන්ති මහත්මියගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන සිදු කරයි.
අනුරාධපුර – උපාලි ආනන්ද