Wednesday, April 23, 2025
Home » කොල්ලුපිටිය නයිට් ක්ලබ් රථ ගාලේ පිස්සු නැටූ පොලිසියේ 2කට නඩු

කොල්ලුපිටිය නයිට් ක්ලබ් රථ ගාලේ පිස්සු නැටූ පොලිසියේ 2කට නඩු

by sachintha
April 1, 2024 12:53 am 0 comment

නයි නළඟනක් මුල්කරගෙන ප්‍රකට වූ කොල්ලුපිටියේ රාත්‍රි සමාජ ශාලාවක රථ ගාලේ බීමතින් අශෝභනව හැසිරෙමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නඩු පැවරීමට කොල්ලුපිටිය පොලිසිය පියවර ගෙන ඇත.

මෙසේ අධිකරණමය පියවර ගැනීමට සූදානම් වන්නේ මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකුට සහ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල් රියැදුරෙකුට එරෙහිවය.

මෙම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාත් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාත් පියවර ගනිමින් සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

පසුගිය 29 වෙනිදා අලුයම් කාලයේ දී කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් යුක්තිය මෙහෙයුමට අදාළව රාජකාරියේ නිරතව සිටිය දී අදාළ රාත්‍රී සමාජ ශාලා රථ ගාලේ රැඳී සිටි සැකකටයුතු පිරිසක් පරීක්ෂාවට ලක්කර ඇත. ඒ අය අතර සිටි බීමත් පුද්ගලයන් දෙදෙනෙක් සිට ඇත්තේ කෙළින් කටින් සිටගෙන ඉන්නටද නොහැකි ආකාරයට අශෝභන ලෙස හැසිරෙමිනි. මෙම පුද්ගලයන් දෙදෙනාව පරීක්ෂා කිරීමට යාමේ දී ඔවුන් පොලිස් නිලධාරීන්ට ඊට ඉඩ නොදී අසභ්‍ය වචන කියමින් බැණ වදිමින් කෑකෝ ගසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇත. දැඩි පරිශ්‍රමයක් දරා ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් කළ පරීක්ෂාවේ දී හෙළිවී ඇත්තේ ඔවුන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බවය.

මේ බව ඉහළ පොලිස් නිලධාරීන් දැනුම්වත් කළ වැටලීම කළ නිලධාරීන් උදෑසන වෙරි හිඳුණු පසු පොලිස් නිලධාරීන් දෙදෙනාට පොලිස් ඇප ලබා දී මුදා හැර තිබේ. ඔවුන් දෙදෙනාට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවත්, නඩු දිනයන් පවා එම නිලධාරීන්ට දැනුම් දී ඇති බවත්, උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT