නාඩු සහල් සඳහා පවතින පාරිභෝගික ඉල්ලුම සපුරාලමින් ගෝල්ඩන් රයිස් (Golden Rice) නාමය යටතේ දේශීය නව නාඩු සහල් විශේෂයක් වෙළෙඳපොළට හඳුන්වා දීමට වී අලෙවි මණ්ඩලය පියවර ගෙන ඇත. රතු කැකුළු වී සඳහා අගය එකතු තිරීමක් සිදු කොට නිමවෙන මෙම ගෝල්ඩන් රයිස් ‘ නාඩු සහල් විශේෂය මැයි මස පළමු සතියේ සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට අපේක්ෂිත බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා කියයි. වී අලෙවි මණ්ඩල (PMB) නාමය යටතේ නිකුත් කෙරෙන මෙම ගෝල්ඩන් රයිස් නාඩු විශේෂය දැනට වෙළෙඳපොළේ නාඩු සහල් සඳහා වන මිල ගණන්වලට වඩා අඩු මිලකට ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දුන් බව ද සභාපතිවරයා පවසයි.
දකුණු පළාතේ පමණක් රතු කැකුළු වී බහුලව පරිභෝජනය වන අතර, ලංකාවේ අනෙකුත් පළාත්වල නාඩු සඳහා පවතින ඉල්ලුමද දිනෙන් දින ඉහළ යමින් පවතී. මේ සඳහා පිළියමක් ලෙස දකුණු පළාතේ වැඩිපුර තිබෙන මෙම රතු කැකුළු වී සඳහා අගය එකතු කර නාඩු සහල් නිෂ්පාදනය කර PMB නාමය යටතේ, සහන මිලකට අප රටේ පාරිභෝගිකයාට නිකුත් කිරීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර ඇතැයිද ඉද්දමල්ගොඩ මහතා කියයි.
වී මිල දී ගැනීම සඳහා මේ වන විට දිවයින පුරා වී ගබඩා 37ක් විවෘත කර තිබෙන අතර, මේ වන විට වී අලෙවි මණ්ඩලය සඳහා වී ලැබෙමින් පවතින්නේ හම්බන්තොට, අම්පාර හා මොනරාගල යන දිස්ත්‍රික්කවලින් පමණක් බව ද ලැබී ඇත්තේ රතු නාඩු වී පමණක් බව ද සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පවසයි. මේ වන විට ලක්ෂ 16ක වී මිල දී ගෙන ඇති අතර, තවදුරටත් තම වී අස්වනු අලෙවි කර ගැනීමට අපහසු වී තිබෙන ගොවීන් වේ නම් වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල හෝ ආසන්නතම වී ගබඩා භාරකාර සහකාර නිලධාරින් විමසන ලෙසද සභාපතිවරයා දැනුම් දෙයි.
බුද්ධිකා ඉඹුලාන